අක්ක නඟාලා.


ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු තුනකි. ඔවුන් දෙදෙනාම මගේ නිවසට ආ දවස අද ඊයේ වාගේ මතකය.

අක්කා සිතුවේ ඇයට සෙල්ලම් කිරීමට බෝනික්කෙකු ගෙනත් ඇති බවය. ටික දවසකින් නංගීට මෙන් ඇයටද බෝතලයකින් කිරි උරා බීමට අවශ්‍ය විය. නංගීට මෙන් කුඩා මදුරු දැලක් අවශ්‍ය විය.

” තාත්තෙ .. නංගි බබා වගෙ මාත් කකුල් දෙකේ තියල දොයි කරන්නකො” අක්ක බබා කීවාය.

කෙමෙන් වැඩෙද්දී , හැමදාම පාහේ හවසට , ඔවුන්ගෙ ඇඟ සෝදවා , පුයර දමා , කොණ්ඩා මල් බැඳ , අළුත් ඇඳුම් අන්දවා . ගේ වටා ඇති පාරේ ඔවුන් දෑලට කර ඇවිදීමට මම ආසා කළෙමි.

ඒ මාගේ දියණියන්ය….

අප දෙදෙනාම රැකියාවට යන බැවින් , ඔවුන් දෙදෙනා බලා ගැනීමට තරමක් වයසක ඥාතිවරියක් විය. ඔවුහු ඇයට ” ආච්චී ” යි කීවෝය.

” තාත්තෙ.. තාත්ත ඉන්නකොට විතරයි ආච්චි අපට ආදරේ ” පොඩි උන්ට බොරු කළ නොහැක. ඔවුන් ආදරය හඳුනති. ආදරය දෙන්නෝ හඳුනති. ආදරය කළ යුත්තන් හඳුනති.

හවසට අප දෙදෙන ගෙට ගොඩ වෙත්ම , දෑත් විදා ගෙන අප කරා දිව ආවෝ මගේ දියණියෝය..
” වෙන තාත්තලා වගෙ නෙවි.. මේ තාත්තා .. ආව ගමන් කරන්නෙ බබාල වඩා ගන්න එක ” අර ඥාතිවරිය දිනක් කීවාය.

මගේ බිරිඳට වඩා ඔවුන් මට සමීප විය.
දෙන්නාම මගේ දෙපසට වී නිදා ගැනීමට ඔවුහු ආසා කළහ.
එක්කෙනෙක් පැත්තට ටිකක් වැඩියෙන් හැරුනොත් , අනිකා මොර දෙයි.
මම ඔවුන්ට නින්ද යන තුරුම උඩු බැල්ලෙන් නිදා ගනිමි.

” හරි.. මං මෙහෙම ඉන්නම්.. එතකොට කාටවත් නැහැනෙ” දෙදෙනාම එයට එකඟ වූහ.

පිළිස්සී ගිය විදුලි බුබුලක් මාරු කිරීමට දෙදෙනාම මට උදවු විය. මා උස පුටුවක් මත නැගී විදුලි බුබුල සවි කරන තුරු පුටුව අල්ලා ගෙන සිටින්නැයි දෙන්නාට කීය. මට ඕනෑ කළේ ඔවුන් දෙදෙන මට පේන මානයේ රඳවා ගැනීමටය.
මොහොතකින් දෙදෙනාම අත්වලින් කටවල් වසා ගෙන සිනා නගමින් ඉවතට දිව ගියහ. මා ඇඳ සිටියේ කෙටි කර ඇඳ ගත් සරමකි.

දින දෙකකට පසු අපේ ගෙදර කුඩා සාදයකි. දෙපස නෑයෝ කීප දෙනෙකුම විය.
” මුං දෙන්න කවුරු වගේද මංද.. කටවල් කතුරු වගේ” මගේ තාත්තා කීවේය.
” අක්කෙ.. අරක කියමුද ? තාත්ත .. එදා බල්බ් එක හයි කරන කොට….”
දෙදෙනාම නැවත කටවල් වසා ගෙන දිව ගියහ.

දන් ඔවුන් සුන්දර යුවතියන්ය. මවගේ රූ සපුව ඔවුනට අඩු නැතිව ලැබී ඇත.

ඇමරිකන් දෙමව්පියන් , දරුවනට යම් විශේෂ දෙයක් කීමට ඇත්නම් , ඒ සඳහා …..ඩිනර් අවුට් එකක් යයි. මමද ඇමරිකානුවෙක් වීමට තැත් කරමි.

” ඔයාල කැමති දෙයක් ඕඩර් කරන්න.. අම්මටයි මටයි සුප් දෙකක් තිබුණාම ඇති ”

මම කිය යුතුදේ පටන් ගත්තෙමි.
” බබාල” ( මට තවම ඔවුන් බබාලාය.) ඔයාලට මතකයිනෙ නිමල් ලොකු තාත්තගෙ දුව.. අරුන්දතී අක්ක.. she ran away with a man ”

නිමල් අයියා මගේ ඥාති සොහොයුරෙකි.. විදුහල්පතිවරයෙකි. පිට දරුවන් රැසක් හැදූ ඔහුට ඔහුගේ දරුවා හදා ගැනීමට නොහැකි විය.

” නිමල් ලොකු තාත්තට හාට් ඇටෑක් එකක් හැදිල.. ඊයේ රෑ මැරිල”

” තාත්ති ඕක කියන්නද අපි එක්ක ආවෙ ? ”

” අපි එහෙම පැනල යන්නෙ නෑ නේද අක්කි ? අපි තාත්තට කියල යන්නෙ”

ඕව ඔච්චර හිතන්න එපා. වෙන දෙයකට ඒ වෙලාවට මුහුණ දෙමු. අක්ක නඟාලාගේ අම්මා කීවාය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

15 Responses to අක්ක නඟාලා.

  1. ගුගල් එකේ වාහල්කඩ ගැන තොරතුරු හොයනකොට ඔබතුමාගෙ සිතිවිලි අතරටත් අහම්බෙන් ආවෙ.
    “අක්ක නගාල දැක්කම“ කියවගෙන ගියා. ඇත්තටම වාසනාවත්ත දරුදෙන්නෙක් කියලයි හිතුනෙ. හැම මිනිහෙක්ම සෙනෙහසට කැමතිය. සෙනහස ලැබියුතු නැන්වලින් නොලැබෙන කොට මිනිස්සු ඒක හොයාගෙන යනව. ඒක හරියට මලක සුවද වගේ දෙයක් සෙනෙහස තිබුනටම මදි ඒක දැනෙන්නත් ඕනි මහත්තයො. බුදු හාමුදුරැවො කියල දුන්නෙ ‘‘මාතා ම්ත්තං සකාඝරේ‘‘ අම්මයි තාත්තයි තමයි දරැවන්ට සිටියයුතු හොදම මිතුරන් විය යුත්තෙ. ඒත් හැමෝටම මේක තේරෙන්නෙ නෑ. තේරුම් කරල දුන්නත් ඇතැම් අය ක්‍රීයාත්මක වෙන්නෙත් නෑ. එතකොට තමයි අයියට උන අද්දැකීමට පත්වෙන්න වෙන්නෙ. ඔබතුමා ශ්‍රේෂ්ඨ පියෙක් කියල හිතෙනව….
    (යමක් නොකියා යන්න හිත දුන්නේ………ම නෑ.ඒකයි ටිකක් කීවෙ)

    • Nihal Gurusinghe පවසයි:

      අහම්බෙන් හෝ මගේ අඩවියට ආ ඔබ වහන්සේට මගේ නමස්කාරය.
      ඉඳ හිට තැනක දෙකක අවාසනාවන්ත දේ අහන්ට දකින්ට ලැබුණත් , අපේ රට වන් රටක් ලෝකයේ කොහෙවත් නෑ. දරුවන් දෙමව්පියනට සැලකිය යුතු අයුරුත්, දෙමව්පියන් දරුවනට සැලකිය යුතු අයුරුත් සිඟාලෝවාද සූත්‍රයේ තියෙනවා. ඒවා කොතරම් පැහැදිලි හා නිවැරදිද. ආගම් භේදයකින් තොරව ලංකාවෙන් බටහිර ලෝකයට යම් දෙයක් දෙන්න හැකි නම් ඒ සිඟාලෝවාද සූත්‍රයයි.

  2. Lankapriya පවසයි:

    මට ඉන්නේ එක කෙල්ලයි කොල්ලයි.. කෙල්ල ඉන්නේ මගේ පැත්තේ..ඉඳල හිටලා ඉතින් අපි දෙන්න දෙමාල්ලෝ පොඩි වලියක් දාගත්තම ඉස්සෙල්ලම සාම කතාව දානේ මමයි .. එතකොට දුව කියනවා., අය්යෝ තාත්ති නම් හරිම මෝඩයි.. ඒයාට කතා නොකර ඉන්න කියල තමුන්ගේ වැඩක් බලගත්තනම් නිකම්ම පස්සෙන් එයි !! පොඩ්ඩි නම් කියයි.. ඔය ක්‍රමයට ගියානම් පාඩුව විඳින්නේ මමනේ !!

  3. sanath පවසයි:

    පැනල ගියත්…කියල ගියත්…… කවද හරි දාල යනවනෙ…..
    හැබැයි එකක් කියන්නම්
    දුවල දෙන්න, තනි කරන එකක් නම් නහැ……….. තාත්තව(+ අම්ම)

  4. නවම් පවසයි:

    නිහාල් අයිය [අයිය කිව්ව්ට අමනාපයක් නැතුව ඇති] ඇත්තටම දූල දෙන්න වාසනාවන්තයි ඔහොම තාත්තල ලබන්න. ආදරේ ඇතිවෙන්න හම්බුවෙනකොට පැනල යන්න හිතක් කොහෙන් එයිද.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )