අපේ අම්මා


පරණ කියපු කරපු දේ ගැන ලිවුව, ගම ගැන ලිවුව , ගෑණි ගැන ලිවුව … ආයෙ ලියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මං යනව ලබන මාසෙ ලංකාවට.. අපෙ අම්ම බලල එන්ට….
මං එන ආරංචිය අහපු ගමන් අපෙ අම්ම අළුත්නුවර දෙවියන්ට පඬුරක් ගැට ගහන්න ඇති.. පරෙස්සමට මගෙ කොල්ල ගෙනත් දෙන්න කියල…
අපෙ අම්මාට හැමෝම අපේය. තාත්තා ඉන්න තැන අපෙ මහත්තයා කියන ඇය, තාත්තා නැති තැන අපෙ එක්කෙනා කියා කියයි. ඇයට ගමේ පංසල අපේ පංසලය. හාමුදුරුවෝ අපෙ හාමුදුරුවෝය. ගණු දෙණු කරන කඩය අපේ කඩේය.
ඇගේ සහෝදරයන්ටද, තාත්තාගේ සහෝදරයන්ටද ඇය කට පුරා අපෙ අයියා, අපෙ මල්ලී කියා කියයි.
කලකින් නුදුටු නෑයෙකු දුටු විට ” අපෙ අක්ක දැක්ක කල්.. කොහෙදෑ ගිහිං හිටියෙ ” කියා අසයි. අපෙ අම්මාගෙ හැටි එහෙමය. මගෙ වයිෆ්ට ඇය අපෙ ලේලි කියතත් මස්සිනාට අපෙ බෑණා කියා නොකියයි. ඒත් ඔහුට මටත් වඩා ආදරේය. අපෙ ලේලිගෙ හිනා කට දැක්කම බඩ පිරෙනවා යයි අපෙ අම්මා ඕන සබාවක කියයි.
මා ඉගෙන ගන්නා කාලයේ අම්මාත් , තාත්තාත් අපට වරෙං පලයං බාසවෙන් කතා කළහ. ඒයි මෙහෙ වරෙං, මේක අරං පලයං ආදි වශයෙනි. නංගී එයට කැමති නැති උනත් මා නම් ඊට කැමතිය.
මට එහෙම කතා කරන්න පුතෙක් නැති හැටි.
අපෙ එකා දැං ලොකුයි. ඔහොම බං බොලං කියන්න එපා යැයි මා මුලිංම රස්සාවකට ගියදා අපෙ අම්මා කීවාය.
අපෙ ගෙදරට ටෙලිෆෝන් ගත්තු කාලයේ කොච්චර නාද උනත් අපෙ අම්මා එය නාල්ලයි.
අනෙ මට බෑ හලෝ කියන්න ඇය කියයි.
අපේ ළමයි මෙහේ පුරුද්දට ” බායි අත්තම්මේ” කිව්වොත් , ” පිණි බායි.. ගුලු බායි.. ගුලල් බායි නෙවේ බුදු සරණයි කියන්න ඉගෙන ගනිල්ල” කියා ඇය කියයි.
අම්මා උයන කෑම දිව්‍ය ලෝක රසය. මං කන්ට ආසා කරන කෑම වට්ටෝරුව ඇය දනී. මං එන ආරංචියට ඇය දැම්ම ඉඳන් කොස් ඇට එකතු කරනවා විය හැක.
කොස් ඇට පොතු පිටින් කබලේ බැද , බැදුනු පසු පොතු ගලවා , මිරිස් ගල උඩ තියා වරක් චප්ප කර , ඊට මිරිස් කුඩු ටිකක් හා ලුණු ටිකක් දමා අත ගා තෙලෙන් බැද ගත් විට කියාපු බයිට් එකකි.
මං ටිකක් විනෝදෙට වගේ බොන බව අපෙ අම්මා දනී.
” දැං ඉතින් අපි කියන දෙයක් අහන එකක්යැ. අපෙ ලේලිවත් ඕක නවත්තන්න කියන්නැද්ද”?
” අපි දෙන්න එකට තමා බොන්නෙ” ඇය කෝප ගැන්වීමට මම කියමි.
මං බැඳි බත් කන්න ආසාය. සමහර දවස් වල අම්මා , මා ගෙදර හිටියත් කෙසෙල් කොළයක් තවා බත් මුලක් බැඳ තියයි. එහි අනිවාර්යෙන්ම වත්තෙන් කඩා ගත් තිබ්බටු හා හාල්මැස්සන් එකට දැමූ මැල්ලුමත් , වියලෙන්නට ඉවූ පරිප්පු මාළුවත් වරදින්නේ නැත. ඒ බත් මුළ කෙතරම් රසද කිව්වොත් එතූ කෙහෙල් කොලයද කා දැමීමට මට සිතේ.
” ඒයි… මට පුළුවන් කිතුල් පිටි හොයල ගෙනත් දෙන්න.. ඔයාට පුළුවන්ද තලප හදන්න?”
” අනෙහ්.. මට බෑ.. ඔය ගොඩේ කෑම හදන්න.. දැන් යනවනේ .. ගිහින් අම්මට කියල හදව ගන්න” මගේ වයිෆ් කියයි.
කිතුල් ගහක් කැපූ දාට අපේ නෑ සනුහරේම ඊට වටවේ.
කිතුල් බඩය වංගෙඩියේ ලා කොටා මිරිකා ගත් ඉස්ම ලොකු හැලියක දා උණු කළ විට එය ගණකමට රතු පාටට මිදේ. ඒ තලපය.
තලප කෑමට අපෙ අම්මා හදන තක්කාලි හොද්දේ සුවඳ දැනෙන්නා , දැනෙන්නා වාගේය.
අපෙ අම්මා දුකට සැපට, අව්වට වැස්සට ගානට තෙම්පරාදු වී ඇති යකඩ ගැහැණියකි. දැන් ඇය ඉතා සුවෙන් ජීවිතයේ සැඳෑ සමය ගත කරයි.
නංගී ගේ දුවල දෙන්නා ඇයට කොලොප්පම් කරයි.
” මාමේ මෙන්න මෙයා අරන් යන්න. අලි වාතයක්” ඔවුන් කියන්නේ ආදරේටය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

22 Responses to අපේ අම්මා

  1. Maxxa පවසයි:

    ගිනි මද්දහනේ බැරි බැරි ගාතේ
    ගම් මැද්දේ නොගිහින් අම්මේ
    රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි
    මං එනතුරු ඉදහං අම්මේ…

    -විජය කුමරණතුංග-

  2. Janaka පවසයි:

    මම ගමෙන් නගරෙට ඇවිත් ඉන්න කෙනෙක්. අපි ඉගන ගත්ත දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න නම් මෙහෙට වෙලා ඉන්න වෙනව. එත් ගෙදර යන හැම වෙලාවකම ඔය කියපු කෑම ජාති නම් වරදින්නේ නෑ.
    කටට කෙළ එනව කෑම ජාති ටික දැක්කාම. මම ආසම තවත් කෑමක් තමයි කුරහන් රොටී එක්ක තිබ්බටු වෑංජනය. හොදට කරවල ටිකක් එහෙම දාල හදල ගත්තාම ආයෙ තරු පහේ හෝටල් වල කෑම පරාදයි. බඩ පැලෙන්න කන්න පුලුවන්.
    ඇයි හොදට දෙහි දාල හදපු පොල් සම්බෝලෙත් එකක කැකුලු හාලේ බත්..
    අඹ ගෙඩියක, වරක මදුලක රස හරියට විදින්න නම් ගමටම යන්න ඕනෙ. නගරෙ තියෙන වැඩිහරියක් කාබයිට් ගහල. කිසි රසක් නෑ.
    අඹ, පේර, දං, පලු, වීර, කෝං ගහේ ඉදගන කන්නේ.
    ඇයි තල් කුරුම්බ බොන්න තල් ගහට පැයක් විතර නගිනව. කොච්චර පරිස්සමෙන් නැග්ගත් තුවාල වෙන එක නම් නවත්තන්න බෑ. එත් ඒක මාර ජොලි වැඩක්.

  3. thilak ranasinghe පවසයි:

    නිහාල් දැන් පුරුද්දක් කරගෙන හැමදාම උදේට කඳුලු පනින කථා ගේන්න..මම උදේට ඉස් ඉස්සෙල්ලම කරන්නේ ඉතින් මේල් චෙක් කරන එක…මේල් චෙක් කරලා දුකටද ආත්ම ලෑජ්ජාවටද මන්දා කඳුලු පුරෝගෙන තමයි ඉතිරි වැඩ කරන්නේ…..

  4. Ravi පවසයි:

    නිහාල්,

    ලියන විදිහ හරිම හෘදයාංගමයි, හැඟීම්බරයි, ලස්සනයි,

    ඔවැනි මව්වරු ලැබෙන්නේ පෙර කුසල් මහිමයෙන්, ඒකෙ ආයෙ දෙකක් නැහැ,

    දිගටම ලියන්න,

  5. හප්පා. උදේ පාන්දරම කියෙව්වා මේක. දැන් ඉතින් දවසම ලංකාවේ කෑම මතක් කර කර හූල්ල හූල්ල තමයි ඉන්ට වෙන්නෙ.! ඒ දවස් වල ලංකාවෙ ඉද්දි කන්න කැමති කඩෙන්මයි. දැන් තමයි තේරෙන්නෙ අම්ම හදන කෑම කොච්චර රසද කියල.

  6. Alchemiya පවසයි:

    අනේ මට මගේ අම්මා මතක් වුනා……..
    ඈ ලංකාවෙ ඉඳන් අපි කවදා ඒ දැයි බලාන ඉන්නවා.
    පැටියා දුරකථනයෙන් ඈට කතා කළොත් ඊට වඩා දෙයක් නෑ ඈට….
    වැරදිලාවත් අපි ඇයට කතා කරන්න දවසක් පරක්කු වුනොත් මුලින්ම අහන්නේ ඇයි කතා කළේ නැත්තේ කියලා.
    හැම බදාදමයි සෙනසුරාදමයි ටෙලිෆෝන් එක වදිනකම් බලන් ඉන්නේ අපි කතාකරනකම්..

  7. නවම් පවසයි:

    නියමයි නිහාල් අයියෙ, ඔයා ලියන විදිය නිසාම ඔයා බ්‍රව්සරේ බුක් මාක් එකක් වෙලා. ඇත්ත, දැං පුතාට සලකන්න අම්ම දත කට මැදගෙන බලාගෙන ඇති. අම්ම මේක දැක්කොත් හරිම සතු‍ටු හිතෙයි නේද?

  8. nihal gurusinghe පවසයි:

    මම මේක ඩ්‍රාෆ්ට් කලේ පෙරේද. ඊයෙ ලන්ච් එකේදි සින්ග්ලිශ් වලින් ටයිප් කලා. අද තමා පබ්ලිශ් කලේ. විනාඩි 5 කින් සිංහළබ්ලොග් එකෙත් සින්ඩිකේට් වෙලා. ඊළඟ විනාඩියෙ සිරිබිරිස් කමෙන්ට් එකකුත් දාල. හරිම ඉක්මණ්. ස්තූතියි. මගේ අනික් බ්ලොග් එක ” සැබෑ මිනිසා” ඒකත් අප්ඩේට් වෙනව.

  9. SiriBiris පවසයි:

    ෂා, නියමයි. මං හැමදාම වගේ ඇවිත් බලනව අළුත් පෝස්ට් දාලද කියල. අර ඔයාගෙ අනිත් බ්ලොග් වලත්පෝස්ට් අප්ඩෙට් කරනවද? මේකෙම අයිනකින් ඒ බ්ලොග් වලත් ලින්ක් ඔය වෙජට් එකක එබුවොත් අපිට ලේසියි. නැත්නං ඒව මඟෑරෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )