අපේ අම්මා


පරණ කියපු කරපු දේ ගැන ලිවුව, ගම ගැන ලිවුව , ගෑණි ගැන ලිවුව … ආයෙ ලියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. මං යනව ලබන මාසෙ ලංකාවට.. අපෙ අම්ම බලල එන්ට….
මං එන ආරංචිය අහපු ගමන් අපෙ අම්ම අළුත්නුවර දෙවියන්ට පඬුරක් ගැට ගහන්න ඇති.. පරෙස්සමට මගෙ කොල්ල ගෙනත් දෙන්න කියල…
අපෙ අම්මාට හැමෝම අපේය. තාත්තා ඉන්න තැන අපෙ මහත්තයා කියන ඇය, තාත්තා නැති තැන අපෙ එක්කෙනා කියා කියයි. ඇයට ගමේ පංසල අපේ පංසලය. හාමුදුරුවෝ අපෙ හාමුදුරුවෝය. ගණු දෙණු කරන කඩය අපේ කඩේය.
ඇගේ සහෝදරයන්ටද, තාත්තාගේ සහෝදරයන්ටද ඇය කට පුරා අපෙ අයියා, අපෙ මල්ලී කියා කියයි.
කලකින් නුදුටු නෑයෙකු දුටු විට ” අපෙ අක්ක දැක්ක කල්.. කොහෙදෑ ගිහිං හිටියෙ ” කියා අසයි. අපෙ අම්මාගෙ හැටි එහෙමය. මගෙ වයිෆ්ට ඇය අපෙ ලේලි කියතත් මස්සිනාට අපෙ බෑණා කියා නොකියයි. ඒත් ඔහුට මටත් වඩා ආදරේය. අපෙ ලේලිගෙ හිනා කට දැක්කම බඩ පිරෙනවා යයි අපෙ අම්මා ඕන සබාවක කියයි.
මා ඉගෙන ගන්නා කාලයේ අම්මාත් , තාත්තාත් අපට වරෙං පලයං බාසවෙන් කතා කළහ. ඒයි මෙහෙ වරෙං, මේක අරං පලයං ආදි වශයෙනි. නංගී එයට කැමති නැති උනත් මා නම් ඊට කැමතිය.
මට එහෙම කතා කරන්න පුතෙක් නැති හැටි.
අපෙ එකා දැං ලොකුයි. ඔහොම බං බොලං කියන්න එපා යැයි මා මුලිංම රස්සාවකට ගියදා අපෙ අම්මා කීවාය.
අපෙ ගෙදරට ටෙලිෆෝන් ගත්තු කාලයේ කොච්චර නාද උනත් අපෙ අම්මා එය නාල්ලයි.
අනෙ මට බෑ හලෝ කියන්න ඇය කියයි.
අපේ ළමයි මෙහේ පුරුද්දට ” බායි අත්තම්මේ” කිව්වොත් , ” පිණි බායි.. ගුලු බායි.. ගුලල් බායි නෙවේ බුදු සරණයි කියන්න ඉගෙන ගනිල්ල” කියා ඇය කියයි.
අම්මා උයන කෑම දිව්‍ය ලෝක රසය. මං කන්ට ආසා කරන කෑම වට්ටෝරුව ඇය දනී. මං එන ආරංචියට ඇය දැම්ම ඉඳන් කොස් ඇට එකතු කරනවා විය හැක.
කොස් ඇට පොතු පිටින් කබලේ බැද , බැදුනු පසු පොතු ගලවා , මිරිස් ගල උඩ තියා වරක් චප්ප කර , ඊට මිරිස් කුඩු ටිකක් හා ලුණු ටිකක් දමා අත ගා තෙලෙන් බැද ගත් විට කියාපු බයිට් එකකි.
මං ටිකක් විනෝදෙට වගේ බොන බව අපෙ අම්මා දනී.
” දැං ඉතින් අපි කියන දෙයක් අහන එකක්යැ. අපෙ ලේලිවත් ඕක නවත්තන්න කියන්නැද්ද”?
” අපි දෙන්න එකට තමා බොන්නෙ” ඇය කෝප ගැන්වීමට මම කියමි.
මං බැඳි බත් කන්න ආසාය. සමහර දවස් වල අම්මා , මා ගෙදර හිටියත් කෙසෙල් කොළයක් තවා බත් මුලක් බැඳ තියයි. එහි අනිවාර්යෙන්ම වත්තෙන් කඩා ගත් තිබ්බටු හා හාල්මැස්සන් එකට දැමූ මැල්ලුමත් , වියලෙන්නට ඉවූ පරිප්පු මාළුවත් වරදින්නේ නැත. ඒ බත් මුළ කෙතරම් රසද කිව්වොත් එතූ කෙහෙල් කොලයද කා දැමීමට මට සිතේ.
” ඒයි… මට පුළුවන් කිතුල් පිටි හොයල ගෙනත් දෙන්න.. ඔයාට පුළුවන්ද තලප හදන්න?”
” අනෙහ්.. මට බෑ.. ඔය ගොඩේ කෑම හදන්න.. දැන් යනවනේ .. ගිහින් අම්මට කියල හදව ගන්න” මගේ වයිෆ් කියයි.
කිතුල් ගහක් කැපූ දාට අපේ නෑ සනුහරේම ඊට වටවේ.
කිතුල් බඩය වංගෙඩියේ ලා කොටා මිරිකා ගත් ඉස්ම ලොකු හැලියක දා උණු කළ විට එය ගණකමට රතු පාටට මිදේ. ඒ තලපය.
තලප කෑමට අපෙ අම්මා හදන තක්කාලි හොද්දේ සුවඳ දැනෙන්නා , දැනෙන්නා වාගේය.
අපෙ අම්මා දුකට සැපට, අව්වට වැස්සට ගානට තෙම්පරාදු වී ඇති යකඩ ගැහැණියකි. දැන් ඇය ඉතා සුවෙන් ජීවිතයේ සැඳෑ සමය ගත කරයි.
නංගී ගේ දුවල දෙන්නා ඇයට කොලොප්පම් කරයි.
” මාමේ මෙන්න මෙයා අරන් යන්න. අලි වාතයක්” ඔවුන් කියන්නේ ආදරේටය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

22 Responses to අපේ අම්මා

  1. no name පවසයි:

    උබ නං වාසනා වන්තයෙක් බන්….සිරාම වාසනා වන්තයෙක්…….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )