මගේ හද ගැස්ම සටහන් කරන මීටරයේ කොළ පාට ප්‍රස්තාරය එකවරම දිගු හඬක් නඟා තිරස් රේකාවක් බවට පත්වේ.
මගේ ඇඳ වටා හුන් මගේ බිරිඳගේ, දියණියන්ගේ, මිතුරන්ගේ මුහුණු බොඳවී පෙනේ. ඔවුන් කතා කරන දෑ කෙමෙන් නෑසී යයි.
මගේ දෑස් නිලංකාර වේ. මඳ උණුසුමක් සහිත රතු පාට පසුබිමක් මට පෙනේ. මගේ ශරීරය මුහුදට පාවී යයි. වතුර නිල් පාටය.
අහස රන්වන් පාටය. වලාකුලු රහිතය. මා නොගිලේ. මා ඈතට ඈතට පාවෙයි. සියල්ල සුන්දරය.
හිටි හැටියේම මුහුද රලු වෙයි. අහසේ වලාකුලු පිරේ. වලාකුලු සුළියක් මෙන් මා වටා කැරකේ. මුහුදෙන් මතුවන රකුසෙක් මගේ සිරුර අදී. වලාකුලු තුලින් මතුවන සුදු හැඳගත් කෙනෙක් මා ඒ පැත්තට අදී.
තත්පර කීපයකින් සුදු හැඳ ගත් පුද්ගලයා ජය ගනී. ඔහු මා කැටුව වලකුලු තුලට රිංගයි සීත වලාකුලු මා ඇඟ වටා දැවටෙයි.
ස්තානය : මගේ නිවස.
නිතරම මගේ නිවසට පැමිණෙන මගේ මිතුරන් වන බිම්සර, කෝසල ඔවුන්ගේ බිරියන් හා දරුවන් සමඟ පැමිණේ. මගේ බිරිඳ සුදු පාට බ්ලව්සයක්ද, සුදු දිග කලිසමක් ද හැඳ සිටී.
ඔවුන්ගේ දරුවන් මගේ දරුවන්ගේ කාමර වලට රිංගයි. එතුළින් සිනා හඬ ඇසේ.
මගේ බිරිඳගේ කෙස් අවුල් වී ඇත. දෙ ඇස් මඳක් ඉදිමී ඇත. නිතරම පිස දාන නිසා නාසය අග රතු පැහැ වී ඇත.
කෝසලගේ බිරිඳ, තමාරා කට හඬ අවදි කරයි.
” Its OK.. darling. not to worry. we will take care everything” ඈ මගේ බිරිය අස් වසයි.
ඔවුන් එකතුව මගේ අවමංගල්‍ය කරන හැටි කතා බස් කරයි.
” අනේ නිහාල් පුදුම මිනිහෙක්… සති දෙකකට කලින්. එයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකට මගේ නමත් ඇඩ් කළා.”
බිම්සරගේ බිරිඳ පුෂ්පා: මේ බලන්න නිහාල් ගෙ වැඩ. කොච්චර නීට් ද කියල. ගිය මාසෙ වෙන තුරු ගෙවපු බිල් පිළිවෙලට ෆයිල් කරල්. ගෙවන්න තියෙන ඒව වෙනම ෆයිල් කරල. ලයිෆ් පොලිසි එක උඩින්ම තියල. ඔයාලටත් මේව හොඳ පාඩම්.
” මේ බලන්න කාර් පේමන්ට් එක, මෝගේජ් එක ගෙවන්නෙ කොහොමද කියල පැහැදිලිව සටහන් කරල.”
වෙනදා අමුත්තෙකු දුටු විට බුරාගෙන පනින බලු සුරතලා සිරුර රවුම් කරගෙන කෑම මේසය යට නිදි. තුන්වේලටම කන්ට දෙන පස් කැට වගේ කෑම් වේලට අමතරව, බිත්තර කෑල්ලක්, සොසේජ් එකක්, මස් කෑල්ලක් හැමෝටම හොරෙන් දෙන්නේ මා බැවින් මගේ වියොව කාට නැතත් ඌට හොඳින් දැනී ඇත.
මගේ බිරිඳ.. නිහාල් කියල තිබුන එයා කලින් මැරුනොත් පුලුවන් තරම් අඩුවෙන් වියදම් කරන්න කියල ෆියුනරල් එකට. මම කීප තැනකට කතා කරල බැලුව. අඩුම පැකේජ් එක ඩොලර් 4500 ක් වෙනව . ඒ ඇති නේද ?
මල් වල වැඩේ පූජිත ෆ්‍රී කරල දෙයි.
දියනියන්ගේ කාමර වලින් සිනා හඬ ඇසේ. ඔවුන් එක්වී එදාට ප්‍රදර්ශනය කිරීමට මගේ පිංතූර ඇතුළත් DVD එකක් හදනවා විය හැක. නැතහොත් එදින කියවීමට අවශ්‍ය ඉයුලොජිය හදනවා විය හැක.
අවමංගල ශාලාව මගේ නිවසේ සිට හැතැප්ම 40 ක් ඈතින්ය. විශාල ජනකායක් එනු ඇත. සුදු කලු ඇඳ ගත් .
මගේ ආයතනයේ ප්‍රදානියා චක් රූෆ් මහතා මෙසේ තප්පර 30 ක පමන කතාවක් කරනු ඇත.
” He was a nice man.. a gentleman.. very helpful.. always smiling. his untimely death is a big loss to our company”
පංසලේ හාමුදුරුවෝ ඩියර් ෆ්‍රෙන්ඩ්ස් කියා ඉන්ගිරිසියෙන් පටන් ගෙන සිංහලෙන් අවසන් කරන කතාවට පැයකුත් විනාඩි 45 ක් ගත වනු ඇත. ශාලාව සඳහා දී තිබූ කාලය අවසන බැවින් එය බාර සුද්දා” ස්ටුපිඩ් කල්චර්” කියමින් නො ඉවසිල්ලෙන් දඟලනු ඇත.
තව මොහොතකින් මගේ දේහය ගෙන යාමට අවමංගල රිය එනු ඇත. මෙතෙක් වේලා එකිනෙකා සිප ගනිමින් සිටි මගේ බිරිය,
හදින් හද ගැටෙමින්
මෙතෙක් ආ ගමන් මග
අදින් අවසන් වන බැවින් සිහි සුන්ව ඇද වැටෙනු ඇත.
අනතුරුව සියලු දෙනාම මළ බත සඳහා බිම්සරගේ නව නිවසට යනු ඇත. සුද්දන්ට pizza ද, අපේ අයට චයිනීස්ද පිළියෙල කරනවා ඇත.
බොන අය සඳහා පූල් එක ළඟ බාර් එකක් අරිනවා ඇත.
ස්තානය: ලංකාවේ මගේ නිවස.
හංවැල්ලේ පදිංචිව සිට නැසී ගිය සිරිල් ගුරුසිංහ ( කොළඹ මහත්තයා ) මහතාගේ පුත්‍රයා වූද, ජයන්තිගේ සොහොයුරා වූද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ ජුලියස් සහ ක්‍රීසි සමාගමේද, ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ නෝත්‍රොප් ගෘම්මාන් සහ බී ඩී සිස්ටම් යන ආයතනවලද සේවය කළ නිහාල් ගුරුසිංහ මහතා හදිසියේ පරලෝ සැපත්වූ බව කණගාටුවෙන් දැනුම් දෙන අතර, අවසන් කටයුතු මෙම මස 30 වන දින ඔක්ලහෝමා හි බ්ලූමින්ග්ටන් නගරයේ අංක 15440 ස්තානයේ පිහිටි ෆොරස්ට් ලෝන් අවමංගල ශාලාවේ පැවැත්වේ.සියලු ඥාති මිත්‍රාදීන් මේ කණගාටු දායක නිවේදනය පිළිගනිත්වා.
” අනේ බුදු පුතේ මට කලින් උඹ ගියෙ ඇයි මගෙ පුතේ” කියමින් අම්මා විලාප දෙනවා ඇත.
නංගී උලුවස්සට හේත්තුවී ” අනේ මගෙ රත්තරං අයියගෙ මිනියවත් මට බලන්න නැති උනානෙ” කියමින් ඇයද වැලපෙනු ඇත. විටින් විට නෑයින් පැමිණෙනවා ඇත. ඒ එන හැම වෙලාවකම අලුතෙන් අඬන්නට කට්ටියට සිදුවෙනවා ඇත.
” මම ඉස්සෙල්ල ඇඬුව, දැන් ඔයා අඬන්න” නංගිගේ දූලා දෙන්නා රංඩු වෙනවා ඇත.
මස්සිනා සෝක වන්නේ ඇත්තටම හොඳ මස්සිනා කෙනෙක් අහිමිවූ නිසාද, නැතහොත් මාස් පතා මා යවන ගනු දෙනුව ඇන හිටින නිසාද කියා මගේ ආත්මය හිතනවා විය හැක..
පංසලේ හාමුදුරුවෝ මුලින් තාත්තාගේ ගුන ද, පසුව නංගී ගේ හා මස්සිනාගේ ගුන ද ගයා අනතුරුව,
” මේ මහත්තයා බොහොම නිහතමානී කෙනෙක්. ඇමරිකාව වගේ රටක ජීවත්වෙනවා කියලා හිතන්නත් අමාරු තරමට නිහතමානි කෙනෙක්. ලංකාවට ආ හැම වෙලාවකම පංසලට ඒමටද වරදන්නේ නැහැ. ”
ඉන් පසුව කාගෙත් සෝ සුසුම් මැද ” යතා වාරි මහා පූරා” කියමින් පැන් වඩනු ඇත.
හෙට සිට මට වැඩට යන්නට ඕනෑ නැත. බිල් ගෙවන්නට ඕනෑ නැත.
රෑ දෙගොඩහ ගෙදර එන තරුණ දියනියන් වෙනුවෙන් නිදි මරන්නට ඕනෑ නැත.
මගේ ආත්මය සමාදානයේ සැතපෙනු ඇත.
ස්තානය. කොළඹ..
ඇමරිකානු තානාපති කාර්යාලය.
ඇමරිකාවට පනින්නට වෑයම් කොට දෙපාරක්ම ” රිජෙක්ටඩ්” කියා පාස්පෝට් එකේ ගසා ගත් බිරිඳගෙ මල්ලීට සහ නංගීට මගේ ෆියුනරල් එකට සහභාගි වීමට වීසා ලැබෙනු ඇත.
කියවන්නන්ගේ ඉල්ලීම්:
1. ගෑණුන්ගේ නුවන හැඳි මිටේ දිගය- මගේ මායියාගේ නුවණ කොසු මිටටත් ටිකක් දිගය..
2. අර 13 වෙනි ප්‍රථම ප්‍රේම කතාව – පංසලේදි පරණ කෑල්ලක් හම්බු වෙච්ච එක
ඒ කතා දෙකත් මේකට කොපි කලොත් කොහොමද?
First love added
අද මහේ හිතට හරි නෑ, ආයිබෝං. මිනිස්සු කියනවානෙ, අපිට ඉව තියනවා කියලා, මට මොකක්දෝ මහ වින්නැහියක් වෙලා කියලා හිතෙනවා. මගේ බොස්, නිහාල් ලොක්කා, ඊයෙ ඉඳන් සාලෙ මැද්දෙ දොයි. මං කිප විටක් වටේ කැරකුනා, කකුලත් ලෙවකෑවා. ම්හු, වෙනදා නොමිලේ ලැබෙන පයින් පාර වත් අද නෑ. ලොක්කායි, ලොක්කියි වලියක් පටන් ගත්තොත් ඒක ඉවර වෙන්නෙ මගේ පස්සා පැත්තෙන් නෙව. ඒ උනාට බොසා හිත හොඳ ගොයියා. ඔය කෑම වෙලාවට බිත්තර කෑලි, සොසේජ එහෙම මගේ ඔලුවට පාත් වෙන්නෙ, සුවර්ගයෙන් නොවයි, උන්දැගෙ පිගානෙන් බව මං දන්නවා. දැං ඔහෙලා කියයි, මු මේ දුක් වෙන්නෙ බඩ ජාරි කොමට කියලා. රාළේ, අපි බල්ලො, ඔහෙලා වගෙ උඩින් එකයි , යටි එකයි අපේ ලඟ නෑ. වලි නං හපා කෑවා, ෂේප් නං නකුට වැනුවා. මං මර ලතොනි දෙද්දිත්, මරන්න ගෙනියන හරකා වගේ මාව ඇද ගෙන ගිහිල්ලා මාව නාවන්නෙ, උන්දැගෙ තියෙන ලෙන්ගතු කොමට වග මං දන්නවා, මං මේ විස්සෝප වෙන්නෙ අන්න ඒකයි. කට්ටියම ලොක්කගෙ ගුණ කියලා කතා පැවත්තුවා. උන්දලාට කොහෙද මට නැති කැක්කුමක්, මාත් “බව්..බව්,..බව්.ඌ..ඌ” කියලා හොදට උඩු බුරලා කතාවක් පවත්වන ගියා විතරයි, ආවෙ නැතෑ කොසු පාරක් ඔලුවට. “යා..හ්, දැට්ස් රායිට්, කික් ද බගර්” කියලා කිව්වෙ, අර වෙනදා බොස්ගෙන් පිං අඩි ගහන්න සැට් වෙන කලු බඩ තඩියා. මාත් නිකං හිටියෙ නෑ, තිබ්බා මගේ දත් මාක් උන්දැගෙ පස්සා පැත්තෙ. මේං කඩා ගත්ත කලිසං කෑල්ල තවම මගේ කටේ, මං යනවා ආයිබෝං, මට ආයෙ මේ ගදර ඉන්න හිතක් නෑ. ඔහෙලට හොඳ මුර බල්ලෙක් ඕනෑ නං , මාත් ඇප්ලිකේෂන් එකක් එවඤ්ඤං. work for food
Reference – c/o St. Peters, Nihal Gurausinghe , Heaven
මීට,
ටොමියා ( නිහාල් ලොක්කගෙ බලු තඩියා)
මගෙ බල්ල හිතන හැටිද මේ. ඒකත් අපූරුයි.
හෙහ්, හෙහ් පට්ට. අමූලික ඇත්ත. මටත් සමහර වෙලාවට හරිම කලකිරීමක් එනවා මිනිස්සු ගැන. සමහර විට මේ රටවල වයසක අය, බල්ලො බලල්ලුන්ට වැඩිය ආදරේ ඒ නිසා වෙන්න ඇති. අනේ මන්දා, සමහර විට අපි ඔහොමම වෙන්න ඇති, අනෙක් අය ගැන කලකිරුනට.
අන්තිමට හැමෝටම වෙන ඉරණම ගැන බොහොම අපූරුවට ලියල තියෙනව. ඇත්තටම නිහාල් අයියෙ ඔබගෙ ලිවීමේ ආර නම් ඉතාම ලස්සනයි. දිගටම ලියන්න. ආසාවෙන් බලන් ඉන්නව ඔබේ ලිපි කියවන්න.
මගේ පල් හෑලි කියවන එකට ගොඩක් පිං. බ්ලොග් ලියන එක අබිං කෑව වගෙ. දැං නොලිය බෑ. ප්‍රතිචාරයට ස්තූතියි.
නිහාල් ඊයේ අහම්බෙන් හම්බුනා කියල ඔයාගේ බ්ලොග් දෙකේම ලින්ක්ස් මට යාලුවෙක් එව්වා.
ඒ වෙලාවේම මගේ බ්ලොග් රෝල් එකට එකතු කරගෙන ෆේස් බුක් එකේ ලින්ක් දෙකම ෂෙයා කලා” ද ලාස්ට් රෝ එකට ලියපු නිහාල් ගුරුසිංහ බ්ලොග් දෙකක් ලියනවා. හැමෝම ගිහින් බලන්න” කියලා ඉල්ලීමක් කරමින්.
ඔයා ද ලාස්ට් රෝ එකට ලියපු ඔක්කෝම ලිපි මම බොහොම ආසාවෙන් කියෙව්වා.
හරිම අපූරු ශෛලියක් ඔයාගේ ලිවීමේ තියෙන්නේ.
මේ ලිපියත් නියමයි.
ඇත්තෙන්ම මටත් මේ ජාතියේ දවල් හීන සමහර වෙලවට මැවිලා පේනවා.
ඒත් පොඩි එකා තාම පොඩි නිසා දවල් හීන විදිහට වත් මගේ මරණය දකින්න බය ගතියකුත් තියෙනවා.
ඒත් ඉතින් පන නම් තණ අග පිනි බිඳි වැන්නේ කියලා කියනවනේ. අපිට පුලුවන්ද වෙලාව තීරණය කරන්න ස්වභාව දර්මය මිසක්.
මට ඔබව මතකයි. අබුඩාබි නේද ඉන්නවා කීවෙ ? මට මේ බ්ලොග් ලිවීම අලුත් දෙයක්. දැන් නං ඉතින් අබිං කෑව හා සමානයි.මේවගෙ ගැජට් විජට් මට තාම අලුත්. බලමු… මත්තට.
වර්ඩ් ප්රෙස්ස් එකේ මට අවශ්‍ය කරන උපාංග නැති නිසයි තව බ්ලොග් එකක් ඇරියෙ.
දුකා අයියේ . අබුඩාබි වල කොහෙද ඉන්නේ .. මමත් ඉන්නේ අබුඩාබි
නිහාල් මේක ලියනකොට මොනවද බීලා හිටියේ…
මොකද මීට කාලෙකට ඉස්සෙල්ලා හැන්දෑවක මල් වලින් ස්ටෝන්ඩ් වෙච්ච සොඳුරු මොහොතක මමත් මගේ මරනයෙන් පසු වෙච්ච දේවල් ඔය විදියටම දැක්කා…..
හලෝ.. කවදද ආවෙ ලංකාවට ගිහිල්ල.
9 වෙනිදා ආපහු ආවෙ…
තිලක් අයියටත් thelastrow එපා උනාද? කාලෙකින් ඒපැත්තෙ ආවේ නෑ නේද?