ඒ 2005 වසරයි….
” අයියේ හැකි ඉක්මණින් ගෙදර එන්න” සඳුදා උදේ නංගී ෆැක්ස් එකක් එවා තිබින. සෙනසුරදා හා ඉරිදා දින දෙකම ඇය මට දුරකතනයෙන් කතා කිරීමට උත්සාහ කර ඇතිමුත් ඒ දෙදිනම අප ගෙදර නොවීය.
මම වහාම නංගීට කතා කළෙමි. නංගී ඉකි බිඳින හඬ මට ඇසිණ. තාත්තා මිය ගොස්ය.
” හරි මම අද රෑම පිටත් වෙන්නම්”..
මට දින දහයක නිවාඩුවක් ලැබිණ. මගේ මිතුරන් එක් රැස්ව කුටු කුටු ගානු මට දැනින.
එකෙක් කඳුලු පිරි දෙනෙතින් මා අත ලියුම් කවරයක් තැබීය. එහි යම් කිසි මුදලක් විය. මේ මිනිසුන්ට මෙවන් උතුම් දේ පුරුදු කළේ මාය.
එය පැය 23 ක දිගු ගමනකි. මගේ ගමන වැටී තිබුණේ තායිපේ , ක්වාලාලම්පූර් හරහාය.
මට වෙහෙසක් , කුස ගින්නක් නොදැනේ. හිසට උඩින් ඇති ලයිට් නිවා දැමූ මම හිසේ සිට පොරවා ගෙන නිදා ගන්නට තැත් කළෙමි. ඒත් නින්ද මා අසළටවත් නො ඒ.
ගමන පුරාවටම තාත්තා ගැන මතකය නැවත් සිහියට නඟා ගැනීමට වෑයම් කළෙමි.
තාත්තා අවසන් වරට සේවය කළේ ගලේවෙලය. නිතර නිතර මැලේරියාවට ගොදුරු වීම නිසාද, පරම්පරාවෙන් ලද දියවැඩියා රෝගය නිසාද, පීඩා විඳි ඔහු වයසට වඩා වැහැරී සිටියේය.
තාත්තා සාමාන්‍යයෙන් කතා බහ අඩු නිහඬ කෙනෙකි. ඔහු අප දෙදෙනාටම බෙහෙවින් ආදරය කළද එය අපට නොපෙන්වූයේය.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිංහබාහු නාට්‍යයේ කියනා පරිදි පීතෘ ස්නේහය ඇත්තේ ඔවුන්ගේ හදවත් තුළය.
ඔහු අපට කුඩා කළ දඬුවම් කළ බවක් හෝ අප සුරතල් කළ බවක් මගේ සිහියට එන්නේ නැත.
තාත්තා ආහාර දෙපාර්ත්මෙන්තුවේ ගබඩා භාරකරුවෙකි.
බාප්පා වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ ගබඩා භාරකරුවෙක් ලෙස සේවය කළේය.
බාප්පාගේ ගෙදර නැති දෙයක් නැත. ඉරුනු මදුරු දැල ගබඩාවට දාන බාප්පා එහි තිබෙන අලුත් මදුරු දැල ගෙදර ගෙනෙයි.
” ඔයා මොනවද ඉතිරි කරල තියෙන්නේ ? ලොකු මල්ලි පැන්ෂන් ගිය දාක ගෙදර තියෙන යකඩ බඩු ටික විකුණලම ජීවත් වෙන්න පුලුවන්.” අම්මා නිතර ආඩපාලි කීවාය.
බාප්පාගේ ගෙදර කුස්සියේ දුම්මැස්සද, වෙරලු ගහ යට වූ බංකුවද රජයට අයත් යකඩ වලින් නිමවී තිබිණ.
” ඒ එයා — මේ මං… ඔයගොල්ල තමයි ඊළඟ ආත්මවල බලු කපුටො වෙලා උපදින්නෙ” තාත්තා එහෙම වෙලාවට කියයි.
තාත්තා පඩිදාට විශාල ප්‍රමාණයේ බඩු මලු දෙකක් ඔසවාගෙන එයි. එක මල්ලක් ගෙට ගේන ඔහු අනෙක කඩේ තබා එය ගෙන ඒමට ආපසු යයි. තාත්තාගෙ ප්‍රමාදය නොරුස්සන අම්මා ” අඩමාණයක් නෑ යන්නැති කොස්වත්තෙ ගෙදර”. කොස්වත්තේ ගෙදර සුලු පරිමාණයේ තැබෑරුමකි.
වෙනත් කුඩාවුන් පරිදි අප තාත්තා එන පෙර මඟට දිව ගියද, ඔහු කිසිදාක අපට කුඩාවුන් ආසා කරන පැණි රස කැවිල්ලක් ගෙනාවේ නැත. ඒ වෙනුවට ඔහු අත තෙල් බැහැපු කඩදසි මල්ලක කට දන වඩේ , මුරුක්කු හෝ පැටිස් කීපයක් විය.
කාටවත් නොදැනෙන පරිදි කොස්වත්තේ ගෙදරින් සප්පායම් වන ඔහු වෙනදාටත් වඩා නිහඬය. එහෙමදාට ටිකක් වැඩියෙන් සිනාසෙන ඔහු
අම්මාගේ කොන්ඩය ගොතන්නට තැත් කරයි.
තාත්තා ලෙඩ ඇඳේ සිටියදි ඇප උපස්තාන සියල්ල කළේ නංගීය.
මාස් පතා කීයක් හරි යවා, නංගී කරපිට සියල්ල පටවා යුතුකම් පැහැර හැරිය මා, මහා ගුණමකුවෙකැයි මම මටම චෝදනා කර ගත්තෙමි.
මහ පාරේ සිට නිවස දක්වාද, සොහොන් පිටිය දක්වාද විවිධ සමිති සමාගම් මගින් සුදුවෙන් සරසා තිබිණ. විශාල පිරිසක් නිවසේද වූ අතර , සමහරු පැමිණ සිටියේ තාත්තා බැලීමටත් වඩා රට සිට පැමිණි මා බලන්නටයැයි හැඟීමක් මට විය.
කලකින් නුදුටු නෑයින් හට රටේ විස්තර, ගමනේ විස්තර නැවත නැවත කීමට මට සිදුවිය. එක් වැඩිහිටි ඥාතියෙක් මා දුටු හැම වාරයකදීම ” පුතා දැන් එහේ කීයට විතර ඇද්දැයි” ඇසුවේය. පසුව මම ඔහුව මඟ හැර සිටියෙමි.
මළගෙයි කටයුතු හමාර වූ වහාම ආපසු ගමනට සූදානම් වීමට මට සිදු විය.
තවමත් ගෙදර රැඳී හුන් දුර බැහැරින් ආ ඥාතීන් මට තේකොල, ගම්මිරිස් ආදිය පැකට් කිරීමට කඩිසර වූහ.
තාත්තාගේ කාමරය අස් කිරීමේදී ඔහු අවසන් වරට ලියා මට එවන්නට සූදනම් කළ ලිපියක් මට හමු විය.
වරක නිල් පෑනකින්ද, වරෙක කලු පෑනකින්ද ලිවීමට තැත් කර තිබූ එම නොනිමි ලිපිය කියවීමෙන් , තාත්තාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දුටුවාටත් වඩා ශෝකයක් ඇතිවිය.
” සීයා ගෙන් මට ලැබුණු දෙයක් හැර මා ඉතිරි කළ දෙයක් නැත. මා යහපත් මාර්ග වලින් ඉපැයූ හැම සතයක්ම ඔබලා දෙන්නාට මා වියදම් කර ඇත. මට සීයාගෙන් ලැබුණු ඉඩ කඩම් සේරම මම ඔබට ලියනවා. ඔබ ඔබේ නංගීට දක්වන සෙනෙහස මතුවටත් තිබෙනු ඇතැයි මට විශ්වාසයි. කෙනෙකුට ජීවත් වන්ට තරම් මුදලකුත්, ගෙයක් දොරක් හදා ගන්ට පර්චස් 15 කුත් තිබුණාම හොඳට ඇති. ඔබට මේවා ඕනෑ නැත්නම් බාප්පාට හෝ ඔහුගේ දරුවන්ට දීපන්” යැයි ඔහු ලියා තිබිණ.
” ඔබ ඉන්නා පළාතේ පන්සලක් නැත්නම් පල්ලියකට හරි පලයන්. දරුවන්ද මොකක් හෝ ආගමකට යොමු කරවපන්” යැයිද ලියා තිබින.
වරක් මා අසනීප වූ විටෙක මගේ කාමරය අස් කළා තාත්තා කොස්ස ඇඳ යටට දමා එතුල වූ සිගරට් කොට කෑලි 30 ක් පමණ ඉවතට ගෙන මට පෙනෙන පරිදි එක් රැස් කළේය. එදා පටන් මේ දක්වාම මා දුම් පානය කර නැත.
පසු දිනෙක,” උඹ අරක්කු බොන්න පුරුදු උනත් සිගරට්වලට පුරුදු වෙන්න එපා” යි කීවේය.
” යස අවවාදෙ.. දෙන්නටම එකට කොස්වත්තෙ යන්න බැරිය” යි අම්මා කීවාය.
” සිගරට් ලාබයි. ඕන තැනකින් ගන්න පුලුවන්. අරක්කු මිළ වැඩි. ගත්තට තනියම බොන්නත් බෑ” ඒ ඔහුගේ ආර්තික විද්‍යාවයි.
කිසිවකුටත් නොරිද්දා, නිහඬ ජීවිතයක් ගත කළ තාත්තා, මා අදහන ආගමට අනුව සුගතියකට පත්ව ඇතයි යන්න මගේ විශ්වාසයයි.
නිහාල් මේ ලිපිය හරිම සංවේදීයි.
ලිපියේ අග කියවන කොට උනපු කඳුලු මගේ ඇස් දෙකේ තාම වේලුනේ නෑ.
හරිම සංවේදී විදිහට අපිටත් ජීවිතයට පාඩමක් ඉගෙන ගන්න් පුලුවන් විදිහට ඔබ මේ ලිපිය ලියා තිබෙනවා.
ඔබේ පියා අවිවාදයෙන්ම පරමාදර්ෂී චරිතයක්.
ඔහුට නිවන් සුව අත්වේවා . . !
This strory is very touching as it reminds me of my father’s last day. I was then living in Dubai far away from my family. As you got a call from your sister, I too got a call from my younger brother, and it was to inform me of my father’s death which I did not expect so fast at all at that point of time though I knew we everybody die one day. He was a great human being and so inspirational for what our family today, he is noting but my god………………………………
andenawa,,,,