“ගොඩ මඩ දෙකම සරු සාරය පළ බරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය ”
එහෙමටම නැති උනත් ඔය කවියෙන් කියැවෙන අපූරු ගුණාංග අපේ ගමේද දැකිය හැක.
කැළණි ගංගාවේ අතු ගඟක් වූ ගුරුගොඩ ඔය අපේ ගම මැදින් ගලා ගියාය.
ගම්මුන් කියන්නේ උඩහට පොඩි එකෙක් චූ කළත් ඔයේ වතුර මට්ටම වැඩිවන බවය.
වැලි ගොඩ දාන එකෙත් අඩුවක් නැති උනත් , දවස් දෙකක් එක දිගට වැස්සොත් ඔයේ වතුර මහ පාරට අවුත් ගමනාගමනය ඇන හිටීම නිතරම සිදුවන්නකි.
නගරයේ ගෙවල වාහන නවතා ඇති ආකාරයට, ගමේ හැම ගෙදරකම පාහෙ මුනින් අතට නැවූ ඔරුවක් දැකිය හැක.
අපේ ගමේ මඟුල් තුලා කටයුතු බොහෝවිට ගම තුලින්ම සිදුවීම නිසා සියල්ලෝම එකිනෙකාට නෑයන් වූ අතර එකම කුලයකට අයත් වූහ.
වැඩි දෙනෙක් කුඹුරු ගොවිතැන් හා ගොඩ ගොවිතැන් කළ අතර ඉඳ හිට කෙනෙක් දෙන්නෙක් රජයේ රැකියා කළහ. දිගු කාළයක් කොළඹ සේවය කිරීම නිසා අපේ තාත්තා හැඳින්වුනේ කොළඹ මහත්තයා, කොළඹ මාමා යන නම් වලිනි. ඒ අනුව ඉබේටම අපේ ගෙදර කොළඹ ගෙදර විය.
මා කුඩා කළ ගියේ ගමේ පාසලටය. 1.30 ට පාසල නිමා වුවත්, ගමේ අස්සක් මුල්ලක් නෑර කරක් ගසා, සමහරදාට හෙලුවෙන්ම ගඟට පැන නා, කොල්ලන් සමඟ රණ්ඩුවී හවස් යාමයේ ගෙදර ඒම නිසා තාත්තාගෙන් හෝ අම්මාගෙන් තැලුම් කෑ වාර ගණන අනන්තය.
වාරාවසාන නිවාඩුවෙන් පසු එක්වූ පාසල් මිතුරෝ නිවාඩුවට ගමේ ගිය කතා කියති.
ඔවුන් ගම ලෙස හැඳින්වූයේ මව් පස නෑ ගෙවල්ය. ඒවා හතැප්ම 25 ක් හෝ 50 ක් දුර, දුම් රියෙන් හෝ බසයෙන් යන ගමන් විය.
අපේ අම්මත් තාත්තාත් ඇවැස්ස නෑනලා මස්සිනාල වීම නිසාවෙන් මට එලෙස ” ගමේ යාමක්” වූයේ නැත. තිබුනේ වැටෙන් එහා පැත්තට පැනීම පමණි.
සිංහළ උලු සෙවිලිකොට, විශාල දොර ජනෙල් සහ රවුම් කුලුණු සහ මැද මිදුල සහිත මා කුඩා කළ ජීවත්වූ නිවස සීයා විසින් තාත්තාට ලියා දී තිබින. පවුලේ බාලයාට මහ ගෙදර අයිති විය යුතු නමුත්, අවසන් කාලයේ සීයා රැක බලා ගත්තේ අපේ තාත්තා නිසා එය එසේ සිදු විය.
පසුව එය සම්ප්‍රදායානුකූලව අයිය මලෝ අතර වයිරයකට හේතු විය.
අපේ සීයාට බිරියන් දෙදෙනෙකි. පළමු අත්තම්මා අකාලයේ මිය යාම නිසා සීයා විසින් ඇගේම බාල සොයුරිය කැන්දා ගෙන වුත් ඇත. පළමු අත්තම්මා මා දැක නමුත් පසුව ගෙනා අත්තම්මාට අපි සුදු අත්තම්මා යැයි කීමු.
කවදාවත් ඉස්කෝලෙකට ගොස් නැති ඇය, උපහාස, උපහැරණ කතා කියන්නට දස්සියකි. මද්දුම බංඩාරගේ හිස ගසා දැමූ ආකාරය විස්තර කරන්නේ හරියට ඇහින් දැක්කා වාගේය.
ඇයට මුනුපුරු මිනිපිරයන් රාශියකි.
ඒත්… දුවගෙ පුතා මුනුපුරා
පුතාගෙ පුතා ලොවුතුරා …..කියමින් මට දක්වූයේ අසීමිත සෙනෙහසකි.
මගේ මතකයේ හැටියට මා 8 – 9 පංතියට එනතෙක්ම නිදා ගත්තේ සුදු අත්තම්මා ළඟය. නින්ද යන තුරු මගේ හිස කැසීම ඇගේ පුරුද්දය.
ගමේ ගැහැණු ඉවීමට පිහීමට දස්සියෝය. එකියක මාලු ඇඹුල් තියල් කිරීමටද, එකියක කලු දොදොල් වැනි කෑමක් සෑදීමටද දස්කම් පෑය.
ලොකුවට කැට හිටින්ට කැපූ පොළොස් ඇඹුල ඉවීමට සුදු අත්තම්මා තරම් සමර්තියක් අහල ගම් හතකවත් නැති බව ගම්මුන් කියයි.
හැම ගහේම පොළොස් එච්චර රස නැත. මහ පිහිල්ල ළඟ ගහේ පොළොස් ගෙඩියක් ලොකුවට කැට කපා, පොල් ගෙඩියක , හමාරක කිරි දමා, ලොකුවට
පතුරු ගැසූ උම්බලකඩද යහමින් යොදා හිඳෙන්ට අරින පොළොස් මාලුව මඳක් රෝස පාටක් ගන්නේ ඊට “හුණු” ඇබිත්තක්ද එකතු කරන නිසාය.
පොළොස් ඇඹුල උයන දාට මට වාසිය. ඒ උම්බලකඩ කැපීමේ බාර දූර කාර්යය මට පැවරෙන නිසාය.
හැම මසකම 4 වන දා පංසලට දවල් දානය අපේ ගෙදරින්ය. පොළොස් ඇඹුලද, ගොටුකොළ සම්බෝලයද, තවත් වැංජනයක්ද, කරවල බැදුමද වරදින්නේ නැත.
පංසල පිහිටා තිබුණේ විශාල කුඹුරු යායක් මැදය. ” අද දානෙ කොළඹ ගෙදරින්”… කුඹුරේ වැඩ කරමින් හුන් එකා දෙන්නා පංසල පැත්තට ඇදේ.
තාත්තාට සහෝදරියන්ද, අම්මාට සහෝදරයන්ද ඇති පදං වූ නිසා මට නෑනාවරුන් ගෙන් අඩුවක් නොවීය.
අපි එකට සෙල්ලම් කළෙමු. වරෙක රංඩුවී තරහ වූවෙමු. නැවත මිතුරු වූවෙමු.
ඔවුන් සියලු දෙනාම සුන්දර දැරියන් වූ අතර, එකියකට පිහිටා තිබූ පිං වපරයද, එකියකට පිහිටා තිබූ කුඩා නළ දතද ඔවුන්ගේ සිනහවට අපූරු අලංකාරයක් එක් කළේය. අද ඔවුන් සෑම දෙනාම විවාපත් වී මවුවරුන් වී ඇත.
සිරිත් පරිදි පසු ගිය සිංහළ අවුරුද්දදා අපි සියලු දෙනාම එක වහලක් යටට එක්වී නැකැත් චාරිත්‍ර ඉටු කළෙමු.
දූ පුතුන්, මුනුපුරු මිනිපිරියන් සමඟ එහි වූ සංඛ්‍යාව 75 කි.
මෙවරද සිංහළ අවුරුද්දද එලෙස සිදුවනු ඇතිමුත් එහි ලොකු අඩුවක් දැකිය හැකිවනු ඇත. ඒ සුදු අත්තම්මාය.
🙂
නිහාල් මාමේ උබ ඇමරිකාවේ මොන මගුලක් කොරනවද ගමට වරෙන් මාමේ
I totally agree with ‘SiriBiris’…Keep going…We still can read and enjoy Madol Duwa. Thanks for sharing your memories..
thank you for visiting my blogs and positive comments
Wow. If my memory serves me correctly, I’ve read this in one of your “other” blog. Apparently, even if that so, I never regret reading a fine piece of writing, twice. Thanks and feel free to write whatever you want my friend( regardless whether it is taboo or not), as this is your cave. The reason I’m saying this is , I still remember the big fuss some guys made about your first few writings. Do not let those hurdles hinder your creativity.
Yes you are right. It was on the “thaLastrow”. I realized that it is not the place for “my kind of “stories. So I opened my own place. I wanted to delete my “lastrow” account but by mistake all my postings are gone . I will post those here whenever I have a chance. “Game gode katha” is a modified version of “ape viththi” because I dont want to do one mistake two times. I read your postings. As a writer, you know the difference between writing a blog & writing a angry comment.
Thank you for visiting my blogs.
Well this is your blog, and compared to the last place, changing them would be the mistake if you are going to put the posts that were in “The Last Row”.
Just my two cents.