මුතු කියන කොට මතක් වෙන්නෙම ඉන්දියන් සාගරේ මුතු ඇටයයි. හලාවත , මන්නාරම අවට මුහුදේ මුතු තියෙන නිසා ලංකාවට එහෙම කියනවා කියලයි මම මුලින් හිතුවේ. ඒත් ඉහළඅහසේ සිට ලංකාවේ ඡායාරූපයක් ගත් විට එය මුතු ඇටයකට හැඩයෙන් සමානයි.
හිමිදිරි උදෑසන තණ අග එල්ලී තිබෙන පිනි බින්දුත් මුතු වගේ. ඒ මුතු පින්න. කඳුළුත් මුතු වගේ. ඒ නිසා දැන් අපේ ලස්සන රටට කඳුළු දූපත කිව්වත් කමක් නෑ. හැම එකාම ටික ටික කාල දැන් ඒක මුතු ඇටයක් නෙවි ” අමුතු ” ඇටයක්.
ඉස්කෝලේ නිවාඩුවට නුවර ලොකු නැන්දලගෙ ගෙදර යනකොට මගදී හමු වන පාළු වලව්ව ” මුතුකුඩ වලව්වයි” පෙර රජ කෙනෙකුට මුතු කුඩ ඉහලූ අයෙකුගෙන් ඒ පරම්පරාව පැවතෙනවා විය යුතුය. එහි ජීවත්වන “අප්පො” වෙනත් සම්ප්‍රදායානුකූල අප්පොලා මෙන් නපුරු නැත. බෝලෙ ඇහින්දින්ට ඒ වත්තට ගියාම ” බලා ගෙන බෝතල් කටු ඇති” කියන තරමටම වැටිලයි ඉන්නෙ.
බෙල්ලන් වැනි මොලස්කාවුන්ගේ ශරීරයේ මෘදු පටක තුල කැල්සියම් කාබනේට් තැන්පත් වීමෙන් වටිනා මුතු හට ගනී.
ඒත් නන්ද නැන්දි කියන විදිහට මුතු හැදෙන්නේ මෙහෙමය.
ගජමුතු , ඇත් දළ තුල ඇති බව කීවත් මා කවදාවත් ඒවා දැක නැත.මුතු වටිනා , දුර්ලභ නිසාම ගැණු ළමයින්ටද
මුතු කියා නම් ඇත. මුතු.. මුතුලතා..මුතු කුමාරි.. මුතු මැණිකේ.. ඒ අනුවම පිරිමි , මුතු බණ්ඩලා වේ. මුතු සම්බා වලින්
උයන ලද බත් කන්ට කන්ට ආසා හිතෙනවාය. ළමයින්ගේ කිරි දත් මුතු වගේය. කිරි දත් යනු ළමා විය ඉක්මෙත්ම හැලී යන ඒවාය. ඉන් පසුව එන්නේ පොල් ගෙඩි සයිස් දත්ය. ” ලේනෝ .. ලේනෝ.. මේ දත අර ගෙන කැකුළු දතක් මට දියෝ දියෝ ” කියල අර වැටෙන දත වහලෙ උඩට විසි කරන්නේ අපි පුංචි කාලේය.දැන් පොඩි උන් එච්චරම මෝඩ නැත.
ගීතා කුමාරසිංහ කට ඇර ගෙන උඩ බලා ගෙන ඉන්න වෙලාවක බලන්න.. ඇගේ කටේ තවමත් අර මුතු ඇට වන් දත් තිබේ.සමහර විට ඇය මුතුවන් දත් දෙපළක් සඳහාම නිපැයූ දන්තාමුක්ත දන්තාලේපය පාවිච්චි කරනවා වෙන්ට පුළුවන්ය.
මුතු ඇට යොදා තැනූ මාලය මුතු පොටය. මුතු වැලය.. ඒත් නැත්නම් මුක්තාහරයයි.අපි හැමෝම දැන්වත් එකම නූලක අමුණන ලද මුතු වැලක් මෙන් සිටිය යුතුය. මා මෙහි කොපමණ දැනමුතුකම් කිව්වත් වැඩක් වෙන්නේ නැතු බව නම් මට ෂුවර්ය. අපි කම්මුතු වෙන දිනය වැඩි ඈතක නොවේ.
මුතු වලට ඉන්ගිරිසියෙන් ” පර්ල් ” කියන නිසා මුතු කියා ගම්බද කෙල්ලන්ට නම් තිබුණත් පොෂ් අය තම දූලාට පර්ල් , පර්ලි
වැනි නම් තබයි. පර්ල් කුරේ , පර්ල් වාසුදේවී අපේ පරණ නිළියන්ය. මගෙත් එක්ක ලොකු ඉස්කෝලේ ඉගෙන ගත්තු හලාවත
මාරවිල කෙල්ල පර්ල් ගුණරත්නය.
කෙල්ලන් හිනැහෙන්නේ මුතු වන් දසන් පෙන්නලාය. මෑතකදී කරලියට ආ මුතු තරංගාගේ හිනාවට මා වසඟ වී ඇත. ඇය හිනා
වෙන්නේ මුතු අහුරක් බිම හලන්නා වාගේය.

කර පළල් හැට්ටයක් හැඳ අඩ සඳ සේ නැමී ගොයම් කපන ගෙවිලියන් දුටු විට නෙත සිත ඇදී යන්නේ උන්ගේ කර බැඳි මුතු පොටට
විතරක්මද ?…..




මට දිමුතු මුතු මතක් උනා.. මම හිතන්න ලංකාවේ පලවෙනි ටෙලිය
දේවිකා මිහිරානි ?
මගෙ බැචෙක් හිටිය “මුතු හූනා” කියල කාඩ් එක වැදුන
මෙයාගේ නමත් ඉතින් මුතු තරංගා නේ.
“මුව මුක්තා ලතා පිපි හංසාංගනා” කිව්වෙ එඩ්වඩ් අංකල් ය. මුතුකුඩ ඉහලන මල් වරුසාවේ යන්නේ රෝහණ අංකල්ගේ පරණ කෙල්ලය. රූකාන්ත උන්නැහේද “මුතුකැට වැටෙනා පෝරුව අබියස” හිඳී. “මුතු ලතා සිනහා පොකුරු පා” කියා අතුල කියන්නේ සමිතාටනම් නෙවේමය. “පින්න මුතු ඉහී බැද්දෙ” නටන්නේ අමිතා ආච්චිය.
දන්තාමුක්ත [දන්තා + මුක්ත]
දන්තා = දත්
මුක්ත = නිදහස්, මිදුනු,
එතකොට දන්තාමුක්ත කියන්නේ “දත් හැළුණු” කියන එකද ?
පින්තුරෙ ඉන්න කෙනා මුතු ඇට හංගගෙන ඇයි ?
කෙල්ල ලස්සනයි නේද ඔබා ? ලස්සන දේවල් නිතරම හැංගිලයි තියෙන්නෙ.
දෙන්නගෙම නාකි විසේ ගෙටත් උසේ……
නෝනලාට අහුවුනොත් දෙන්නාම කම්මුතු තමයි!