කෝච්චිය හූ කියා ගෙන යයි
කපුටා කා කියා ගෙන යයි
පාන්කාරයා පාන් කියා ගෙන යයි
මේ අපේ කාලෙ ගම්මානයක උදේට අනිවාර්යයෙන්ම ඇසෙන ශබ්දයන්ය.
ඒ කාලේ ගමක වැදගතුන් වූයේ ඉස්කෝළේ මහත්තයා , වෙද මහත්තයා හා ආරච්චි මහත්තයා ( ග්‍රාම සේවක ) ය. ඊළඟට කට්ටඬියා , වඩුවා , මේසන් බාස් , බක්කරේ….
වැඩිහිටි හැමෝටම නෑකං කියන ඒ කාලේ මේ අය පිළිවෙලින් කට්ටඬිරාළ , වඩු සීයා , බාස් උන්නැහේ , බක්කර මාමා වගේ හැඳින්වුනා.
බක්කරේ කියන්නේ පාන් හදන එක්කෙනා. මෙය ඉන්ග්‍රීසි Baker යන්නෙන් බිඳී ආවක්. මගේ මිතුරු කීත් බේකර්ගෙ මුත්තා සමහර විට බක්කරේ කෙනෙක් වෙන්න ඇති.
1505 කොළඹ වෙරළට ගොඩබට ලෝරෙන්සු ද අල්මේදා ඇතුළු පරංගි , පාන් කමින් , රතු වයින් බොමින් ප්‍රීති වෙනු දුටු ගැමියන් , බයානක මිනිසුන් රැසක් වෙරළේ ඉන්නා බවත් , උන් තිරිවානා ගල් කමින් අමු ලේ බොන බවත් රජුට සැල කළා.
ස්පාඤ්ඤ බසින්ද පාන් වලට කියන්නේ පාන් කියලාය.
පාන් වලට ඉන්ග්‍රීසියෙන් බ්‍රෙඩ් කියනවා වගේම එය වෙනත් ආකාරයෙන්ද භාවිතා වේ.
Bread & Butter Issue – සභාවක හෝ සම්මේලනයක මුල් තැන හිමි විය යුතු මාතෘකාව.
This is my bread & butter – දවසේ ආදායම
Bread winner- පවුලක රැකියාවක් කර මුදල් උපයන්නා
“මම දන්නව බටර් ගාන්න ඕන මොන පැත්තෙද කියල” වැනි කියමන්ද ඇත.
දෙල් වලට බ්‍රෙඩ්ෆෘට් කියන්නේ සමහර විට මේ යතාර්තවාදියා , කිරට උකුවට උයන ලද දෙල් සමඟ පාන් ගිල දැමීමට රුසියෙක් නිසා විය හැක.
සිංහලයාගේ ප්‍රධාන ආහාරය තුන් වෙලටම බත්ය. බත්දුන් කෝරලය එදා රටට අවශ්‍ය බත සැපයීය. බත් දුන් පියා ඩී. එස් . සේනානායකය. තුන් වේලටම බත් දුන්නොත් මුන්ගෙ ඡන්ද ටික හැමදාමත් ගන්න පුළුවන් යයි සිතූ ඩී. එස්. සතියකට එක් කෙනෙකුට හාල් සේරු දෙක බැගින් නොමිළයේ දී ඇත. පසුව ඩඩ්ලි එය නවතා පිටි දෙන්ට වීම නිසා බත් දුන් පියාගේ පුතා පාන් පිටි බාහු විය.
පාන් කන්ට එදා වෙච්චි ණය අද දක්වාම ගෙවන්නේ පාන් කියා ගන්ටත් බැරි ගානේය.
පාන් රාත්තල ශත 72 ට තිබුනා මට මතකය. දැන් එහි රාත්තලක් නැති උනත් වෙළෙන්දා එය හිතූ හිතූ ගනන් වලට විකුණයි. අඩු ගාණේ දැන් පාන් රාත්තලක් රුපියල් 35 ක් වත් වෙනවා ඇත. පාන් මෙච්චර ගණන් යන බව දන්නවා නං ටිකක් එක්කාසු කර ගන්ට තිබුනාය. ඒකට කමක් නැත.. පාන් ගණන් නම් කෙක් කා පල්ලා..
ඉස්සර අපි බැඳපු අළුත හැමදාම හවසට වැල්ලවත්ත පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරියෙන් පාන් ගෙඩි දෙකක් මිළට ගෙන , ඉන් එකක් රෑට කන්ට තියා ගෙන අනෙක බයිසිකළේ යන ගමන් ඉවර කරමු.
බයිසිකළේ පිටු පස ඉඳ ගෙන ” ඔයාට කටයි , මට කටයි ” හබුං කවමින් යන විට , පාරේ වාහනයක ගිය මහ නැහැදිච්ච උන් ටිකක් ” කවා-පාන් – **** පාන් ” යැයි කෑ ගැසුවෝය. එවිට ඇය ” චිහ්, මහ වල් මිනිස්සු” යි කීවා මතකය.
රෝස් පාන්ද පාන් ජාතියකි. රා වලට කියාපු බයිට් එකය.
පරිප්පු වඩේ එකයි.. රෝස් පාන් එකයි.. ප්ලේන් ටී එකයි.. අනේ මං කවදාක ඇවිදිම්ද ඒ රටේ.. මට ඇඬුම් එයි.
පාන්- දර, පාන් කාරයාගේ සීනු හඬට අවදිවූ මහත්තයෙක් , වයිෆ්ට ඇහැරවන්නේ මොකටදැයි සිතා , ඔළුවෙ සිටන් පොරවා ගෙන වයිෆ්ගේ හවුස් කෝට් එකත් ඇඳ ගෙන පාන් රාත්තල ගන්ට ගියේය. පාන් කාරයා පාන් ගෙඩිය දෙන ගමන් මහත්තයාගේ අතත් මිරිකුවේය. මහත්තයා ගෙට ගොස් වයිෆ්ට මෙසේ කීවේය.
” ඔයා කූද්දන්නෙ මොකටද කියල මම ඔයා ගේ හවුස් කෝට් එකත් ඇඳන් පාන් ගන්න ගියාම පාන් කාරය මගේ අත් මිරිකුව. පවු.. මිනිහගෙ වයිෆ්ටත් මේ ජාතියෙ හවුස් කෝට් එකක් ඇති”
තුන්වේලටම බත් කෑ ගැමියා. රෑට පාන් කන නාගරිකයන් සමච්චලයට ලක් කළා. කොළඹ රටේ පාන් රජ කරයි.
“පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
සූඩයි හොද්ද නේරංජන ගඟ වේවා” බෝඩිං කාරයෙක් බිත්තියක ලියා ඇත. ඒ උනාට දැන් නං පාන් 5 ස්ටාර් කෑමකි.
මා ඉන්නා රටේ තිරිඟු පිටි පාන් වලට අමතරව නා නා ප්‍රකාර පාන් ජාති ඇත. අර්තාපල් බ්‍රෙඩ්….. ටිකක් හරි ලංකාවෙ පාන් වලට කිට්ටුවෙන් යන්නේ ආමේනියන් බේකරි වල හදන පාන්ය. බැගුටේ කියන්නේ ප්‍රංශ පාන් ජාතියකි. දේසේ හැටියට බාසේ කියන්නැහේ ඕක කන්න අපෙ එක්කෙනා ස්පිනැච් ඩිප් එකක් හදනව. මොන ….? තක්කාලි හොද්දක ඔබාගෙන කනව තරම් කොහෙද ?
ඉඳ හිට ගුල්ලෙක් දෙන්නෙක් හිටියත් , බක්කර ගෙදර බක්කර මාමා හදන් පාන් තරම් මේ එක පානක් වත් රහ නැත.




මාරයි නේ…. මේක පෙට්ටි පාන් එක්ක කරන්න බැරිද..?(රෝස් පාන් සහ බටර්.. මාර දේශීය ආහාරය).
නිහාල් අයියා . . තිස් පහට පාං කාපු කාලෙ ඉවරයි. . . දැං ගෙඩිය 48යි.
//ඉඳ හිට ගුල්ලෙක් දෙන්නෙක් හිටියත් , බක්කර ගෙදර බක්කර මාමා හදන් පාන් තරම් මේ එක පානක් වත් රහ නැත.//
ඔය කියපු ජාති වලට අමතරව බක්කරේගෙ දාඩිය, කෙල එහෙමත් කලවං වෙලා එනවනෙ පාං ගෙඩියට . . ඒකයි ඔය රස
අපේ පැත්තේ ජනප්‍රියම චූන් පාන්ය…..
හෙහ්.. තිස්පහට පාං.. හඳේ ද? දැං හතලිස් ම අටයි ගෙඩියක්. ඊයෙ රෑටයි අද උදේටයි දෙවේලටම පාං. මටනං පාං එපා වෙලා දැං.