ඔන්න අදත් ගියා යාළුවෙක් බස්සන්න එයාපෝට් එකට. මගෙ යාළුවායි , එයාගෙ බිරිඳයි පුතාල දෙන්නයි ලංකාවට යනව සති තුනක නිවාඩුවකට.
( ඇයි යකෝ අපිට වද දෙන්නෙ පලයල්ලකො ටැක්සියක් අරං.. එහෙම නැතුව සුද්දො කරනව වාගෙ වාහනෙ පාක් කරල පලයල්ලකො පාකිං එකක එතකොට ආපහු එනකොටත් ලේසිනෙ.. මම දැන් හැතැක්ම 200 ක් යන්න ඕන මුන් බස්සන්න, ආපහු එන්නත් ඒ වගේම 200 ක්)
මම හැම අවුරුද්දකම ලංකාවට යනව මගෙ අම්ම බලල එන්න. ඒ කරලත් ලංකාවට යන අය දකින කොට හිතට එන්නෙ පුදුම ඉරිසියාවක්.
මුළු එයාපෝට් එකේම තියෙන්නෙ අමුතු සුවඳක්. මම කට්ටියට හග් කරල කිස් කරල අවසන් දොරටුවෙනුත් යන තුරු අතවනල ආපහු එන්න පිට උනා. උන් හැමෝම ගාව එයාපෝට් සුවඳ.
එදා රෑ මාත් ලංකාවට ගියා.
we are going to land in 30 minutes කියන නිවේදනය ඇහුන විතරයි මම වැසිකිලියට ගිහින් ශරීරය සැහැල්ලු කර ගෙන මුහුන ටිකක් තෙත් කර ගෙන හිස පීර ගෙන නැවතත් අසුන් ගත්ත.
please be seated. ……. නැවතත් නිවේදනයක්.
ගුවන් යානය වටයක් ගන්නවාත් එක්කම නිල් පාට ලස්සන සාරියක් ඇඳන් හුන් රූබර ගුවන් සේවිකාව සමබර තාවය නැතුව ගොස් මගේ ඇඟට හේත්තු උනා. මගෙ ලොකු දුවගේ වයසෙ කෙල්ලක්. මම ආයාසයෙන් හිත සන්සුන් කර ගත්ත.
එයාපෝට් එක අළුත් කරල. සේවකයෝ තම තමන්ගෙ වැඩවල කඩිසරව යෙදී හිටිය.
ආගමන කවුන්ටරයෙ එච්චර පෝලිමක් නෑ.
” නිහාල් ගුරුසිංහ.. හ්ම්…. මේ අර බ්ලොග් ලියන එක්කෙනාද?” කවුන්ටරයෙ මගේ පාස්පෝට් එක චෙක් කරන නිලධාරියා අහනව.
” ඔව් ඒ මං තමා”
ඔහු ටෙලිපෝනයෙන් කාටද ඇමතුමක් දෙන්න තැත් කළා. මට හීන් දාඩිය දැම්ම. මම කෝකටත් ඩොලර් 50 නෝට්ටුවක් හතරට නමල රෙඩි පිට තියා ගත්ත.
” මගෙ බොස් ආසයි සර් ලියන ඒව කියවන්න.. එයා ඕෆ් වෙලා ගිහින්”
” ආ එහෙමනං කමක් නෑ, මම හිතුව .. මම ආණ්ඩු විරෝධී ඒවත් ලියනවනේ. මම හිතුවෙ ඔයා සී. අයි. ඩී. එකට කෝල් කරනව කියල”
” එහෙමනං ඉතින් මෙතනින් යන හැමෝම ඇරස්ට් කරන්න වෙයි”
” ඔයත් කියවනවද මම ලියන ඒව.. කොහොමද ඒව ?”
” රට ගිය ඇත්තො නං කීප වතාවක් කියෙව්ව.. අනික්ව නං චාටර්” ඔහු මගේ පාස්පෝට් එකේ සීල් එකක් ගහන ගමන් කීව.
මම ” තෑන්ක්ස් ෆෝ ද කමෙන්ට්” කියා ගෙන එතනින් මාරු උනා.
එයාපෝට් එක අළුත් වෙලා. බිත්ති ඔප දාල. බිමට කාපට් දාල. මිනී කාක්කො වගේ වේලිච්ච මූණු වලින් මගීන් දිහා බලන් ඉන්න සේවකයො නෑ.
මම එළියට ආව.
” ටැක්සි” පුවරුවක් ඔසවාගෙන අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසී උන් අයෙක් මා දෙසට ආව.
” සර් ටැක්සි?”
” ඔවු මට යන්න ඕන නිගම්බු වල බ්‍රවුන්ස් බිච් හොටෙල් එකට”
” ආ මම සර්ට කියන්නම් ලේසි විදියක්. උඩට යන්න . මොනො රේල් එක එනව, විනාඩි පහකට සැරයක්. සර්ට කෙළින්ම හොටෙල් එක ඇතුළටම ගියෑකි. ටැක්සියක් අවශ්‍ය නැහැ”
මම ඉහළ මාලයට ගියා. මොනොරේල් එක ආවා. මම ඊට ගොඩ උනා.
එය සංචාරකයන් ගෙන් පිරිලා.
“doors are closing..stand clear” නිවේදනයක් ඇහුනා. මෙහි රියැදුරෙක් නෑ. මම මේ වගේ එකක් කලින් දැකල තියෙනව මැලේසියාවෙදි.
මුහුදු වෙරළ අයිනෙන් පොළවේ සිට අඩි විසි පහක විතර උසින් ඉදිවුන කොන්ක්‍රීට් අට්ටාලයක් මත මොනොරේල්ලුව දිව ගියා. මේ නිසාම කාගේවත් ඉඩම් වලට අසාධාරනයක් වෙලා නෑ.
දෙකට නැමිල හතර අතට වැඳගෙන ඉන්න දේසපාලුවන්ගෙ මූනු තියෙන එක කටවුට් එකක්වත් නෑ.
ඒ වෙනුවට ” සිරි ලක දේ සිරි සැප දේ” වගේ පාට අඩංගු ලොකු බිල් බෝඩ් පිළිවෙළකට ප්‍රදර්ශනය වුනා. සමහර ඒවායේ ” සිලෝන් ජෙම්ස් ” , “සිලෝන් ටී” වගේ ආකර්ශනීය දැන්වීම් පුවරු තිබුනා.
විනාඩි පහකින් නැවත නිවේදනයක්. “our next stop is browns beach hotel”
මම බැස්සේ හොටෙල් එකේ ලොබියටමයි.
” සර් දවස් කීයක් විතර නවතින්න බලාපොරොත්තු වෙනවද. සතියකට වඩා ඉන්නව නම් හොඳ ඩීල්ස් තියෙනව.
” සර් තනියම ඉන්න නිසා… අපේ ලඟ ඉන්නව ලස්සන ගෑණු ළමයි. සර්ගෙ හැම වැඩක්ම කරල දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ HIV රිපෝට් එහෙමත් තියෙනව”
‘නෑ මම ඉන්නෙ දවස් දෙකයි”
” අපි ළඟ කියුට් බෝයිස්ලත් ඉන්නව”
උදේ කෑමට භෝජන ශාලාවට ගියාම තමයි තරු පෙනුනෙ. එක එක ඇට ජාති තම්බල. මුං ඇට ,
කඩල , තව අල ජාති, දම් පාට වැල් අල පොලුත් එක්ක.. ආසාව තිබ්බට මෙව්ව එක පාරටම බඩට දාගත්තම බඩ අප්සැට් වෙන්න පුළුවන්.
” මං ඇහුව බුරිටෝ එහෙම නැද්ද ?” කියල. වේටර් උඩ බිම බලනව. ඒ මෙක්සිකන් කෑම ජාතියක්. මිනිහ එක පාරටම හෙළයේ මහා කෝකී ආචාර්ය පබ්ලිස් සිල්වට කෝල් එකක් ගත්ත.
විනාඩි කීපයක් ඇතුළත් මට හොට් ස්පයිසි චිකන් බුරිටොවක් කෑමට ලැබුන.
මම උදේ නමයට විතර අපේ මායිය සේවය කළ විවෘත විශ්ව විද්‍යාලෙට යන්ට තීරණය කළා. වැල්ලවත්ත ඇල දිගේ නාවුක හමුදාව මගින් සුඛෝපභෝගී මගී බෝට්ටු සේවයක් දාල තිබුනා. ඇල ඉවුර දිගේ වන මල් පෙති පාවෙමින් තිබුන.
ඊළඟදා මම ශ්‍රී ලන්කන් එයාර් සමාගමට අයත් කුඩා ගුවන් යානයකින් මහනුවර බලා පිටත් උනා. ගුවන් යානාව ගොඩ බෑවේ මහවැලි රීච් හෝටලය ඉදිරිපස මහවැලි ගඟේමයි.
මම දළදා වඳින්නටත් අමතක කළේ නෑ.
විවිධ ඇඳුම් වලින් සැරසුනු සංචාරකයන්ගෙන් දළදා මැදුරු බිම පිරිලා. සමහර කෙල්ලො ඇඳන් හිටියෙ ඉතා කෙටි සායවල්. මම ළඟ හිටිය පොලිස් කාන්තාවගෙන් ඇහුව,
” අරුන් ඔක්කොම එළියෙ දාගෙන… දැන් පොලීසිය ගානෙ රෙදි කෑලි දෙන්නෙ නැද්ද?”
” ඒ විකාර තිබුනෙ ඉස්සර. උන් එන්නෙ මාළිගාවෙ ලී කැටයම් බලන්න මිසක් තේවාව බලන්න නෙවෙයි.”
පොලිස් කාන්තාව උත්තර දුන්න.
මහනුවර නගරයත් ඉතා පිරිසිදුයි. ඉස්සර මිනිසුන්ට වඩා පාර හරහා පැන්නෙ බල්ලො. දැන් එක බල්ලෙක් වත් නෑ. පාර මාරු වෙන්න පොළව උඩින් , යටින් පාරවල් හදල.
මම තැපැල් කන්තෝරුවට ගියා. පික්චර් පෝස්ට් කාඩ් තුනක් ගත්ත මගෙ වයිෆ්ටයි කෙල්ලො දෙන්නටයි. වයිෆ්ට ගත්තෙ අවුකන බුදු පිළිමය තියෙන එකක්. කෙල්ලො දෙන්නට සීගිරි අප්සරාවන් ඉන්න කාඩ් දෙකක් අරගෙනත් ඒව ආපහු තියල බටලීයෙ කජු කෙල්ලො ඉන්න කාඩ් දෙකක් ගත්ත.
අළුතින් මුද්දර තුනක් නිකුත් කරල. ඒව හොඳ වැඩ. එකක් රෝහණ විජේවීරගෙ අනෙක ප්‍රබාකරන්ගෙ අනෙක මර්වින් සිල්වගෙ..( අප්පට සිරි මේ යකත් මැරිලද ?)
විජේවීර සහ ප්‍රබාකරන් මා අගය කරන දෙන්නෙක් . මුදලට , තාන්න මාන්න වලට පිල් මාරු කරන දේශපාලන නපුංසකයන් මෙන් නොව තමන් අදහන දර්ශනය වෙනුවෙන් දිවි පිදූ දෙන්නෙක්. මම කෙල්ලො දෙන්නගෙ කාඩ් වල ඒ මුද්දර අලවල පෙට්ටියට දැම්ම. වයිෆ්ගෙ එකේ අනික් මුද්දරේ අලවන්න හදනවා හදනවා ඇලවෙන්නෙම නෑ. ඔහ්.. මළා මම වැරදි පැත්තෙ කෙළ ගාන්නෙ.
********************************************************************
එකවරම පිපිරුම් හඬක් ඇහුනා..
” මොන යකෙක් වැහිලද මන්ද .. කුණු කෙළ පිටින් මගෙ මූණ ලෙව කන්නෙ තියා ගෙන”



විජේවිරගෙයි, ප්‍රභාකරන්ගෙයි තව සමානකම් තියනවා. මිනිසුන් හිතාගෙන හිටියේ මේ දෙන්නම කැලෑවේ ජිවත් වුනේ කියලා. අන්තිමට දැනගන්න ලැබුනේ දෙන්නම බංගලා වල ඉඳලා තියෙන්නේ. අනික තමා විජේවීර ප්‍රේමදාසව බලයට ගේන්නේ උදව් කළා මිනිස්සුන්ට චන්දෙ දාන්න දෙන්නේ නැතුව. අන්තිමට ඒ ආණ්ඩුව ඔහුව විතරක් නෙමේ මුළු දේශපාලන මණ්ඩලයම මරා දැම්ම. ප්‍රභාකරන් දෙමල මිනිසුන්ට චන්දෙ දාන්න නොදී මහින්ද රාජපක්ෂව බලේට ගෙනාවා. ඊට පස්සේ තමුනුත් මැරුම් කාලා, මුළු සනුහරේම විනාශ කර ගත්තා.
එහෙම නං තව දේවල් තියෙනව. ඔය දෙන්නගෙම අනුගාමිකයො දැන් රජයට හේත්තු වෙලා රජ සැප විඳිනව.