හතර

අද සිංහළ බ්ලොග් බැලුවාම ඒවා හතර වර්ගයකට වෙන් කරන්න පුළුවන්.

1 අධ්‍යාපනික වශයෙන් වැදගත් තොරතුරු අඩංගු බ්ලොග්
2 පැණි ටෝක් -
3 දේශපාලන
4 වල් කතා සහ වැල කතා

ගුරුසිංහ මේ සේරගෙන්ම ටික ටික අරන් සරල වින්දනයක් ගෙන දෙන ඒවා ලියයි.සමහරු නං කියනවා මම ලියන ඒවා මෙලෝ රහක් නෑ කියල. ඒත් මං තනිවම ලියූ ” රට ගිය ඇත්තෝ” ඔය යන්නෙ යස අගේට හතර දිග් බාගෙම නං ගං නැතුවම.
අද මොනවද ලියන්නෙ කියල හිත හිත ඉන්න කොටයි ඕනයයි ප්‍රවීනයි දෙන්නම කියල තිබුන මට වචනයක් හොයල දෙන්න ඕන කියල A4 සයිස් එකට අඩුවෙන් ලියන්න. ඒ නිසාමයි හතර ගැන කියන්න හිතුනෙ. හැබැයි A4 සයිස් කොල බන්ඩල් හතරකවත් ලියන්න හැකිවෙයි හතර ගැන.

” මච්.. චාන් .. අද හතරට විතර සෙට් වෙමුද ?” දර්ශන අපේ ගේ ඉස්සරහ පාරෙ බයිසිකළෙන් හතර වරක් දෙක , ඒ කියන්නෙ අට ගහන ගමන් කිවුව.
” හතරට ? කොහෙ යන්නද ?” – අම්මා
” අම්මේ ඔය පොස්ටර් අඳින්න ” – නංගී

අම්මා හතර අතේ දෙස් තියන්න ගත්ත..” මූ උපන් ගමන් හතර හන්දි කඩල දැම්ම නං කිසි දුකක් නෑ ” කියල.

හතර කියන්නෙ විශේෂයෙන් සිංහළ බෞද්ධයනට වැදගත් ඉලක්කමක්. ඒ තුනට පහළින් තියෙන නිසා නෙවේ.
හතර පෝයට සිල් ගන්න අත්තම්මා පිං දෙන්ට වරුවක්ම ගනී. ඈ කෑමට ඉතා ආශා කළේ අළුත් මාළු හා යෝගට්ය. අළුත්ම මාළු ගන්න නම් පාන්දර හතරේ බස් එකේ කොළඹ යා යුතුය. ඒ එන ගමන් යෝගට් එකකුත් අරන් අත්තම්මට දුන්නාම ” අනේ මයෙ අප්පට හතර මහ නිදානෙ පහළ වෙන්න ඕනය” කියා පින් දෙයි.

එල්. එම්. පෙරේරා දක්ෂ නළුවෙකි. ගායකයෙකි. විකට ශිල්පියෙකි. අධ්‍යක්ෂකවරයෙකි. මීගමුව පැත්තේ උපන් ඔහු හතරෙන් පටන් ගන්නා සිනමා සිත්තම් කීපයක්ම කළ අතර ඒ කාලයේ හැටියට ඒවා උසස් තත්වයේ තිබිණ. හතර වටේ , හතර මහ නිධානය , හතර පෙරළිය , හතර කෙන්දරේ.. ඒත් හතර දෙනාම සූරයෝ එයාගේ නොවේය.

හතර වටින් කළු කර ගෙන එන විට මුවා වෙන්න ගසකුත් නැති හැන්දෑවක මා , මගේ ළඟ තිබූ කුඩය හතරට නවා ගෙන කළිසම් සාක්කුවේ දාගෙන ඇගෙ කුඩේ යටින් බෝඩිමට ගිහින් ඇරලූදා ඇගේ සිහින් තොල් පෙති මතට දුන් සීතල හාදුව තාම මතකය. ඒය දුටු ලඟ ගෙදරක හුන් කොළු නඩයක් හතර වටේටම ඇහෙන්ට හූ කීවෝය.

එක් බිහිරි අයෙක් බාල්දියක් , තුවායක් , සබන් එහෙම අරන් ළිඳ පැත්තට යනු දුටු තවත් බිහිරි අයෙක් ” ආ.. නාන්න යනව වගේ” කීවේය. එවිට අනිකා ” නෑ ටිකක් නා ගන්න කියල”
එවිට මුල් එකා ” ආ මං හිතුව නාන්න යනව කියල බාල්දිය හෙම අරන් යන කොට” එවිට අනිකා “හොඳයි මං ටිකක් නාගෙන එන්නන්කො” කියා කිවේලු.

මගේ අම්මගෙ පැත්තේ හා තාත්තාගෙ පැත්තේද , මගේ බිරිඳගේ අම්මාගේ පැත්තේද ඇගේ තාත්තාගේ පැත්තේද යන මේ හතර වරිගයේම අර වගේ හතර බීරි කතා කියන බීරන් නැත.

අපේ බාප්පාගේ හතරවැනි එකා සාමාන්‍ය පෙළ හතර පාරක්ම කරලත් සම්මාන හතරකට වඩා ගන්න බැරි උනා. අපේ ගේ හතර කොනේම ආරස්සාවල් වලලල තිබුණත් මඩුවෙ තිබුන ටකරන් තහඩු හතරක් උස්සල විකුණල තියෙන්නෙ අපේ බාප්පාගෙ හතර වෙනි එකාමයි. අත්තම්ම නං කිව්වෙ ඕකට පොලෝසි ගානෙ යන්න ඕන නෑ ඔය හය හතර නොදන්න උන් කරන වැඩ” කියල.
ඒ උනාට මං නං කිව්වෙ පොලිසියට කියන එක හොඳයි කියල. හතරක් පහක් අනින කොට සේරම කියන්නැතෑ.

සිංහළ වෙදකම දන්න හැමෝම නක්සත්තරේත් දන්න නිසා අපේ වෙදනාත් දන්නව ඇති කෙනෙකුගෙ හතර කෙන්දරෙ පාළු උනාම මොකද කරන්නෙ කියල. එහෙම එකෙක් පවුලක ඉන්නවා නම් කරන්නේ සාසනේට බාර දෙන එක.
දැන් ඉතින් කිව්වම මොකද අපේ නංගිගෙත් හතර කේන්දරේ පාළුයි. ” මේකි කාට දෙන්දෝයි” කියල කල්පනා කර කර ඉන්න කොට තමයි ඔය දැන් බැඳල ඉන්න ක්‍රිෂන්ත ගොයිය කර ගැහුවෙ. ඔය මගුලට වියදම් කළෙත් හතර අතේ ණය වෙල.
ඕව ඔය සාත්තර කාරයො ගාන කපා ගන්න ගහන හතර වරං. දැන් ඔය අපූරුවට ඉන්නෙ. කෙල්ලො තුන් දෙනයි එක කොල්ලයි හතර වෙනි එකා වාසනාවන්තය කියල කිව්වට මොකද ඌ දවස් හතරක්ම බේබි රූම් එකේ හිටිය.

බුදුන්ගෙ කාලයෙ හිටියලු සිව් වනක් පිරිස. එයාලට සලකල තියෙන්නෙ සිවු පසයෙන්. මම මෙව්ව අපේ ළමයින්ට කියල දෙන කොට උන් මාත් එක්ක වාදෙට එනව උන් අහනව ” තාත්ත දෙයියො විශ්වාස කරන්නෙ නැත්තං මොකටද ඔය පන්සල්වල හතවරම් දෙයියන්ගෙ රූප කියල. තාත්තත් දෙවියන්ට වඳිනව නේද? මුන්ට මොකක් හරි කියල ඇඟ බේර ගන්න එපායැ. නැත්නම් හතර විලි ලැජ්ජාවයි.
මං කිව්වා.. ”ඔය පොඩි පොඩි වැඩ කර ගන්න.. උදව් ඉල්ලගන්න අපිට දෙවියො ඕන වෙනව. ඒත් ලොකු වැඩ වලට යන්නෙ අපේ බුදුන් ගාවට.
ඒ සැරේ කියාපි.. ” give me a example “
දැන් ලෙඩක් දුකක් හැදුනම , විභාගයක් ළඟ එනකොට දෙවියො ගාවට යන්නෙ. ඒව පොඩි වැඩ.
අපි හිතමු අපි කැලේ යනකොට අලියෙක් පන්න ගෙන එනව. අපි කෑ ගහන්නෙ බුදු අම්මෝ කියල”
ඒකට දෙන්නටම හතර හිනා.
“තාත්ති බොරු කියනව”.
“නෑ ඒක තමා පරම සත්‍ය.”
” පරම සත්‍ය තියෙන්නෙ බයිබලයෙ”
” බයිබලය ලියන්ට කලිනුයි බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගැන කිව්වෙ.

සිව් මහ බඹුන් දුන් විවරනෙන් පහල වූ අපේ රජ්ජුරුවො සිවුරඟ සේනා අරන් ගිහින් හටන් කොරල රට බේර ගත්ත. ඒ උනාට මේ සිවු පාවුන් වගේ අනක් ගුනක් නැති උන් කියන්නේ රාජපක්ෂල හතර දෙනා ගහනව ගැහිල්ලක් කියල වැඩක් නෑ කියල.
ඔහොම කියන උන් හතර මං හන්දියේ තියල උල තියන්න ඕන.

ඔය සේරම කයි කතන්දර යට යනව අපේ කොල්ලො හතරෙ පාරවල් ගහනව දැක්කම.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

19 Responses to හතර

  1. ඇයි නිර්මාණාත්මක බ්ලොග්, කවි කතා නිසැදැස් :)

  2. හතර මහා නිධන් නැති වුනත්
    හතර මහ දෙවි සරණ නැති වුනත්
    සිල්ප සතර සහ
    හතර හංදි ශක්තිය ඇති තුරා
    කාටවත් වරදින එකක් නම් නැහැ

  3. liyanagamage says:

    එල්.එම් පෙරේරා මීගමුවේද ?. රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන මැතිවරණ කොට්ඨාශයේ රක්වාන නගරයේ කියලා කගාවක් මම අහල තියෙනවා. අපි දෙන්නගෙන් එක් කෙනෙක් හතර බීරී කතාවක් කියනවා වගෙයි.

    • එල්. එම්. පෙරේරා කොහේද කියල මටත් ෂුවර් නෑ. හැබැයි මගෙ මී ගමු යාළුවෙක් මට කියල තියෙනව අවුරුදු 15 කට විතර ඉස්සර එල්. එම්. ඒ පැත්තෙ කියල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )