ඒ ආරංචිය අසා අමුතුවෙන් දුකක් ඇතිවීමට තරම් ඈ ගැන
හැඟීමක් මා තුළ ඉතිරි වී නොමැත. විය පත් වීම නිසාද,
පැරණි බැඳීම් වෙනුවට අළුතින් ඇතිවුනු බැඳීම් නිසාද
ජීවිතයේ ඇති නිස්සාර බව දැන් දැන් පසක් වීම නිසාද ,
පපු කුහරය ඇතුළත් යම් හිස් බවක් දැනුනද , මගේ හිතවතෙක් එවා තිබූ
ඊ-මේලය දුටු විගස හීන් විදුලි සැරයක් වැදී එය හිස් මුදුනින්
පිටවූ විටකදී මෙන් දැනීමක් ඇතිවුවද ඉන් එහා ගිය කිසිම
හැඟීමක් මා තුළ ඇති නොවීය.
” මම උදේට කොළ කැඳ හැදුව.. දැන්ම ගේන්නද ? කරපිංච”
“හ්ම්”
” මම දන්නව ඔයා මොකක් ගැනද හිතන්නෙ කියල.. මම ඕක දැන ගෙන දැන් දවස් තුනක් වෙනව.. ඔයාට දුක හිතෙයි කියල මං කිව්වෙ නෑ”
” මට ඒ හැටි දුකක් නෑ”
” බොරු නැතිව ඉන්න , මම ඔයත් එක්ක අවුරුදු 20 කට වඩා හිටියනේ මං ඔයාගෙ හිත අඳුනනව.. මං පන්සලට කතා කළා.. අපි ලබන ඉරිදට දානයක් දෙමු..”
” අන්තිම කාලෙ ගොඩක් දුක විඳල තියෙනව”
ගර්භාෂ පිළිකාවක් වැළඳි ඈ එය දැන ගන්නා විට එය බර පතලව
විහිදී ගිය එකක් විය.
මා ප්‍රදීපා අවසන් වරට දැක්කේ අප පවුලේ කෙනෙකුගේ විවා මඟුලකදීය.
පිට පිට දරුවන් තුන් දෙනෙකු වැදීම නිසා ඇය වයසට වඩා දිරා පත්ව සිටියාය.
“මම යනව ටිකක් එලියට ඇවිදල එන්න” මම සාමාන්‍යයෙන් ඇවිදින දුර
ප්‍රමාණය සැතපුම් තුනකි. එයට පැයක් ගතවේ. ප්‍රදීපාගේ මරණය අසා
වෙනස් වූ සිත නියම තැනට ගෙන ඒමට ඒ කාලයත් දුරත් ප්‍රමාණවත් යයි
මම සිතුවෙමි.
“පුතේ මගෙ ඔලුව ටිකක් බලපන්කො.. උකුණොද කොහෙද” අපේ අම්මා කියයි.
” අර ඉන්නෙ නෑම්බියක් .. මට කියන්නෙ මොකටද “
ඇය අම්මාගේ හිස පීරා හිස මුදුනෙන් කොණ්ඩයක් ගසා ” කොහොමද මේ හෙයා ස්ටයිල් එක නැන්දට? අඩි උස සපත්තු දෙකක් දාල ගත්තොත් එහෙම” ඇය අපේ අම්මා කෝප ගන්වයි.
මගේම නංගීගේ සම වයසේ වූ ඕ නංගීගේ ප්‍රියතම මිතුරියයි
” හිටපන්කො මං අම්මට කියන්ට.. ගණන් අහගන්න කියල ඇවිත් මනමාලකම.මං දැක්ක ඊයෙ අයියගෙ අතින් අල්ල ගෙන ඉන්නව”
” අපෝ.. වැඩේමයි.. උඹලගෙ . නල්ල මලේ අයිය.. තියා ගනිං පරිස්සම් කරල”
ඉතා රූමත් යයි කිව නොහැකි වුවත් , හදිසියේම උදේට දකින කෝපි මලක් හෝ වතු සුදු මලක් මෙන් ප්‍රභාවත් ඇගේ සිනහව මා ආසා කළ ගැහැණු ලාලිත්‍යයි.
මට තනිවම තීරණයක් ගත නොහැකි කාලයක ඇගේ පියාගේ උවමණාව මතම සිදුවූ ඇගේ විවාහය ඇසූදාද අද මෙන් පපුවේ හිස් බවක් දැනින.
ප්‍රදීපා රැගත් මංගල රිය පෙරහැර ගමන් කළේ මගේ පපුව උඩින් යැයි මට සිතින.
ඈත කඳු වට කරන් හමනා සීත සුළඟේ මේ අසාපන්
මගේ තනියට එන්න කියලා ඔහුට ගොස් රහසේ කියාපන්
මිහිරි තනු පද වැල් ගොතන්නට කොහෝ කුරුලන් හට කියාපන්
වසන්තය ළඟ ළඟම එන බව ඔහුට කෙලෙසක හෝ කියාපන්
මේ මගේ පොතක ඈ ලියා තිබූ වදන් පෙළක්. ඒත් අපට ඒ වසන්තය ආවේ නැත.
ඇයට මිහිරි කට හඬක් හා සිත් ඇද ගන්නා සුළු කතා විලාශයක් විය.
දෙවතාවක්ම ඇය උසස් පෙළ ලියුවද සරසවි වරම් නොලැබුනු බැවින් ගුරුවරියක් ලෙස ජීවිතය ඇරඹුවාය.
“මේකටද අයියේ ජීවිතය කියන්නෙ.” ඇය අවසානයට එවූ ලිපිය ඉතා දුක් බර එකක් විය.
” ඒ මිනිහ ගුරුවරයෙක් කිව්වට සල්ලි මත්තෙම නැහෙන මිනිහෙක්. ඔය මිනිස්සු දාල කැලේ ගස් ගපනව කියන්නෙ.”. පිට පිටම ළමයි තුන් දෙනෙක්.. හිටියැයින් බාගයක් නෑ.” අපේ අම්මා දවසක් ලියා එවා තිබින.
වත්සලා කාගේවත් උදව්වක් නැතිව තනිවම මහත් ඕනෑකමකින් දානය පිලියෙල කළාය.
” කවුද එත කොට මේ මිය පරලොව ගිහින් තියෙන්නෙ මහත්තයගෙ නෑ කෙනෙක්ද? ” – සුභූති හාමුදුරුවෝ-
” ඔව් අපෙ හාමුදුරුවනේ මෙයාගෙ ළඟ නෑ කෙනෙක්. කැන්සර් එකකින්”
” පියෙහි විප්ප යෝගෝ දුක්කො..” එය කෙටි අනුශාසනාවක් විය.
“ඉදම්මෙ ඥාති නං හොතු”…….
අප දෙදෙනාම එක්ව පැන් වැඩූවෙමු. මට ඉමහත් සැහැල්ලුවක් දැනින.



අදයි මුලින්ම ගොඩ වැදුනේ. සංවේදී සටහනක්.
මගේ ලිපි බොහොමයක් සංවේදී. මම ලියන්නෙත් සංවේදී මිනිසුන්ට විතරයි. ඔබේ පැමිණීම අගය කරනවා.
නොපැවසූ ආදරය , හදවතට එකතු කරන්නෙ මහා හිස්කමක්….
ගැහැණුන් දෙදෙනාම සංවේදි සිත් ඇත්තවුන් වීම භාග්‍යයක්…
සංවේදී ලිපියක් . .
අයියගේ ගොඩක් ලිපි වගේම මේ ලිපියත් ඇසට කඳුලක් ගෙනාවා . . .